Sunday, 23 July 2023

ඔබේ තාත්තත් මේ වගේද

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

රස්සාවක් කරන ගමන් පවුල් ජීවිතයත් සමබරව ගෙනියන එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි කියලා පවුල්කාරයෝ නිතරම කියනවා. රැකියා ආයතනයේ අති සාර්ථක සමහර නිලධාරීන් පවුල් ජීවිතයේදී අසාර්ථකයි. මේ ගැන නැවත හිතලා බලන්නත් එක්ක රස්සාව සහ පවුල් ජීවිතය ගැන කියැවෙන අපූරු කතාවක් ඔයාට කියන්නම්.

ඔන්න තාත්තා කෙනෙක් හිටියා. මේ තාත්තා වැඩ කළේ පෞද්ගලික ආයතනයක, තාත්තා කොල්ලා කාලේදී එයාගේ රැකියා ජීවිතය පටන් ගත්තේ ගොඩක් පහළ තැනකින් ඒක නිසා මෙයාට ඕන වෙලා තිබුණා දවසින් දවස වෘත්තීය ජීවිතයේ ඉහළටම ගිහින් පවුලේ උදවියට සෞභාග්‍යවත් ජීවිතයක් ලබා දෙන්න. කොහොමහරි මේ වන විට තාත්තා යම් තැනකට ඇවිල්ලා ඉන්නේ. එයා ලොකු සමාගමක ගබඩාවක සුපවයිසර් කෙනෙක්. එයාට සැලකිය යුතු පඩියකුත් ලැබෙනවා. ඒත් එයා ඒ ගැන සතුටු නම් නැහැ. දවල් රෑ නොබලා එයාගේ දරු දෙදෙනා සහ බිරියගේ සුබසෙත පතාගෙන ඔහු දිගටම වැඩ කරන්නේ කවදා හරි ලොකු සතුටක් බලාපොරොත්තුවෙන් සමහර දවස්වල ගෙදර එනකොට රෑ වෙනවා. පවුලේ අයත් එක්ක එකතු වෙලා ගොඩක් කාලෙකින් කෑමක් බීමක් ගන්නවත් තාත්තට වෙලාවක් නැහැ.

දවසක් තාත්තා ගෙදර ආවේ ගොඩක් සතුටින් මොකද එයා ජ්‍යෙෂ්ඨ වැඩ බලන්නෙක්. එහෙමත් නැත්නම් සීනියර් සුපවයිසර් කෙනෙක් විදියට උසස් කරලා. ඒ සඳහා ආයතනය පවත්වපු පරීක්ෂණයෙන් තාත්තා ඉහළින්ම සමත් වුණේ පසුගිය දවස්වල ඒ වෙනුවෙන් කැපවෙලා පාඩම් කරපු නිසා. උසස් වීමත් එකම තාත්තා පවුලේ අයත් සමඟ කාලය ගමන් පාඩම් කරනවා. සති අන්ත දවස් වල උපාධියට අදාළ දේශනවලට යනවා. එයාගෙ බිරිය සහ පවුලේ දරුවන් තාත්තාට නිතරම මැසිවිලි නැඟුවේ වැඩ විතරක්ම කරන්නේ නැතුව ටිකක් සැහැල්ලුවෙන් ඉන්න කියලා. මේ දේවල් හරියට කරගත්තොත් දිගටම සතුටින් ඉන්න පුළුවන් තාත්තා එතකොට එහෙම කිව්වා. තාත්තට පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරන්න ලොකු කැමැත්තක් තිබුණා. එහෙත් තව ටිකක් දුර රැකියාවේ ඉහළට ගියොත් සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා තාත්තා නිතරම හිතුවා.

අවුරුදු දෙකක් විතර යනකොට සහකාර ගබඩා කළමනාකරුවෙක් බවට උසස්වීමක්ද මේ තාත්තාට ලැබුණා. දැන් තාත්තාගේ පඩිය තවත් හොඳයි. ඒක නිසා ගෙදර වැඩ පහසු කරගන්න සේවිකාවකුත් ගෙන්නුවා. පරණ ගෙදර විකුණලා අලුත් ගෙදරක පදිංචියටත් ගියා. ගෙදර දොර වෙනස් කළත් තාත්තාගේ ජීවන රටාව නම් වෙනස් වුණේ නැහැ. තවත් ටිකක් මහන්සි වෙලා වැඩ කළොත් ගබඩා කළමනාකාර තනතුරට පත්වෙන්න පුළුවන් කියලා ඔහු හිතුවා. එම නිසා පවුලේ උදවියගේ මැසිවිලි මැද තව තවත් ඔහු වැඩ කළා.



මෙහෙම කාලය සෙමින් ගමන් කරද්දී තාත්තා උපාධියත් සම්පූර්ණ කළා. තාත්තාගේ කැපවීම සහ උනන්දුව නිසා සමාගමේ කළමනාකාරිත්වය ඔහුව ගබඩා කළමනාකාර තනතුරට පත් කළා. ඔහුගේ සිහින සැබෑ වුණා. එයාට ලස්සන කාර් එකකුත් ලැබුණා. දැන් තාත්තාට ගොඩක් සතුටුයි. ඔහු උසස්වීම ලබාගත් දවසේ ගෙදරට ආවේ වෙනදා වගේ මුහුණ බර කරගෙන නොවෙයි. ඉහේ මලක් පිපුණා වගේ ගොඩක් සැහැල්ලුවෙන්. තාත්තා පවුලේ හැමෝටම ගෙදර සාලෙට එන්න කිව්වා. හෙට ඉඳන් වැඩ විතරක්ම කරන්නේ නැතුව පවුලේ උදවිය සමඟ සතුටින් ඉන්නවා කියලා ඔහු හදවතින්ම පොරොන්දු වුණා. ගොඩක් කාලේකට පස්සේ හෙට උදෑසනම විනෝද චාරිකාවක් පවුලේ උදවිය එක්ක යනවා කියලත් ඔහු පොරොන්දු වුණා.

මෙතෙක් කාලයක් කාර්යබහුලත්වය සහ තෙහෙට්ටුව විතරක් කරපින්නාගෙන වෙහෙසුණ ජීවිතය වෙනුවට හෙට ඉදන් උදාවෙන සැහැල්ලු ජීවිතය ලොකුම සැපතක් වෙයි කියලා හිතමින් තාත්තා නින්දට ගියා. නමුත් තාත්තා අපේක්ෂා කළ සැහැල්ලු ජීවිතේ ගත කරන්න අනිත් දවසේදී තාත්තා ඇහැරුණේ නැහැ. මන්ද යත් එදින රාත්‍රියේදී තාත්තා මිය ගියා.

0 Comments:

Post a Comment