කැලුම් වැලිගම - kelumweligama@gmail.com
පසුගිය
දවසක අන්තර්ජාලය තුළ සැරිසරද්දී ලොකු දෙයක් කියන සරල කතාවක් මට හමුවුණා. ඒ කතාව
කියවද්දි ඒත් සමගම ඔබටත් යමක් කියන්න ඕන කියලා මට හිතුණා. ඇත්තටම ඒක විදෙස්
කතාවක්. ඒක නිසා එහි බුද්ධිමය දේපොළ හිමිකම ඔන්න මට නම් නැහැ. නමුත් මම ඒ කතාව
පරිවර්තනය කළේ ගොඩක් දේ වෙනස් කරලා. මට එහෙම අයිතියක් නැති වුණත් කාට කාටත් වටින
නිසා මම එහෙම කළා.
දවසක්
තරුණයෙක් රැකියාවක් සඳහා වන සම්මුඛ පරීක්ෂණයකට ගියා. තරුණයා ඉල්ලුම් කළේ විධායක ශ්‍රේණියේ
රැකියාවක් නිසා ආයතනික ප්‍රධානියත් සම්මුඛ පරීක්‍ෂණය කරන කාමරේ තමයි හිටියේ.
රැකියාවට ප්‍රමාණවත් දක්ෂතාවන්ගෙන් සහ හැකියාවන්ගෙන් මෙන්ම අධ්‍යාපන සුදුසුකම්
වලින් ද තරුණයා පරිපූර්ණ වෙලා තමයි හිටියේ. ආයතනික ප්‍රධානියාට මොහු ගොඩක් හිතට
ඇල්ලුව. ඒක නිසා වතගොත ටිකක් කතා කරන්න හිතුවා.
"ඔයාට මේ තරම් දුර ඉගෙන ගන්න උදව් කළේ තාත්තද ?'' " නැහැ. මට පොඩි කාලෙදිම තාත්ත නැති වුණා. අම්ම තමයි මට ඉගැන්නුවේ "
"ඔව් අම්මා රෙදි සෝදනවා" තරුණයා මවගේ
රැකියාව සඟවන්නේ නැතුව කෙළින්ම කිව්වා.
"ඔයා අම්මට උදව් කරනවාද?"
"රෙදි හෝදන්න අම්මා මට ඉඩ දුන්නේ නැහැ. එයා මට හැමවෙලේම කිව්වේ හොඳට
ඉගෙන ගන්න කියලා.. ඉතින් මම ඉගෙන ගත්තා"
නිකටට
අත තියාන ටිකක් වෙලා කල්පනා කරපු ප්‍රධානියා මෙහෙම කිව්වා.
"මම
ඔයා ගන්නවද නැද්ද කියල හෙට කියන්නම්. ඔයා හෙට 9.00 ට ඊළඟ සම්මුඛ
පරීක්ෂණයට එන්න. ඒ එද්දි ඔයා දේවල් දෙකක් කරලා එන්න ඕන. පළමුවැනි දේ තමයි ඔයාට
උගන්වන්න උදව් කරපු අම්මගේ අත් දෙක අතගාලා ඒවා පිරිසුදු කරලා එන්න ඕන. දෙවැනි දේ
තමයි වත්මන් කොටස් වෙළෙඳ පොළේ තත්ත්වය ගැන අවබෝධයෙන් එන්න ඕන"
තරුණයා
ගෙදර ආව ගමන්ම රෙදි සෝදන්න සැරසෙන අම්මා ගාවට ගියේ ඇගේ අත් පිරිසුදු කරන්න. ඔහු
මවගේ අත් දෙක ඇල්ලුවේ ගොඩක් කාලෙකින් නේද කියලා ඔහුට හිතුණා. අම්මගේ අතේ සමීප
දර්ශනය ගොඩක් දුක්බර බව ඔහුට පෙනුණා. ඒ අත්වල ලස්සන මැකිලා ගිහින් සබන්, රසායනිකයන්ට
අත්ලේ සම ඉරිලා ගිහින්. දැන් අම්මගේ අත් පිරිමියෙක්ගේ අත් වගේ තඩිස්සි වෙලා නේද
කියලා ඔහුට හිතුණා. ඔහු අම්මගේ අත් දෙක බදාගෙන ඇඬුවේ දුක දරාගන්න බැරි නිසා. ඔහු
කවදාවත් නැතුව අම්මාගේ අත් දෙක දැඩි සෙනේහයෙන් පිරිමැද්දා. ඉන් පසුව ජීවිතයේ ප්‍රථම
වතාවට ඔහු රෙදි පොට්ටනියක්ම සේදුවා. ඔහුට ඒ වේලාවේ දැනුණා අම්මා අවුරුදු 25 ක් තිස්සේ රෙදි දිය ගහමින් විඳපු දුක. කොටස් වෙළෙඳපොළ තත්ත්වය හොයන්න
ඔන කියලා ඔහුට හිතුණත් ඔහු ඒ ගැන හිතන්නේ නැතුව දිගටම රෙදි සේදුවේ අම්මාට දවසක්
හරි නිදහසක් දෙන්න ඕන නිසා. එදා රෑ වෙනකම්ම වැඩ කරපු නිසා ඔහුට හොඳ නින්දක්
ලැබුණා.
තරුණයා
දෙවැනි සම්මුඛ පරීක්ෂණයට යන්න පිටත් වුණා. යන්න පිටත් වෙන මොහොතෙත් ඔහු අම්මාගේ
යකඩ දෑත් දැඩි ස්නේහයෙන් පිරිමැද්දා ආයතනික ප්‍රධානියා සිනාවක් පාමින් තරුණයා
දෙවැනි පරීක්ෂණයට පිළිගත්තා.
"ඉතින් ඔබ ඊයේ මම කියපු වැඩ දෙකම කළාද?"
“එකක් කළා සර්. අනික මට මගහරින්න සිද්ධ වුණා''
''ඇයි ?''
''කොටස් වෙළෙඳ පොළේ වත්මන් තත්ත්වය තේරුම් ගන්නවට වඩා මගේ අම්මගේ වත්මන්
තත්ත්වය තේරුම් ගන්න මට ඕන වුණා සර්''. තරුණයාගේ පිළිතුරට
ප්‍රධානියා ගොඩක් කැමැති වුණා. ඔහු බලාපොරොත්තු වුණෙත් ඒ පිළිතුරම තමයි. නමුත් තරුණයා
සිතුවේ කළ අතපසු වීම නිසා රැකියාවට ඔහු නැවත කැඳවන්නේ නැති වෙයි කියලා.
"අන්න එහෙම තමයි කළමනාකරුවෙක් ඉන්න ඔනි. හෙට ඉඳන් ඔබ මෙහෙ තමයි වැඩ'' ප්‍රධානියා මඳ සිනහවක් පාමින් ඒකමතිකව කිව්වා.
''ඒත් සර්... මම කළ මනාකරුවෙක්ගේ දෙයක් නෙමෙයි නේ කළේ. අනික මම ඔබ කිව්ව වැදගත්ම
වැඩේ මගහැරියා'' පුදුමයට පත් තරුණයා ඇහුවා.
"අවස්ථානුකූල ව වැදගත්ම දේ තමයි ඔබ කළේ. දක්‍ෂ කළමනාකරුවෙක්ට පුළුවන් වෙන්න ඕන යටත් සේවකයන්ට සංවේදී වෙන්න. අවුරුදු ගාණක් සමාගමට වැඩ කරපු මිනිසුන්ගේ ජීවිතේ දැන් මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් කළමනාකරුවෙක්ට තිබිය යුතුයි. එහෙම තේරුම් ගත්තොත් තමයි දිගුකාලීන අරමුණුවලට ළඟා වෙන්න පුළුවන් වෙන්නෙ. අවුරුදු ගාණකට පස්සෙ හරි ඔබට වැටහුණා අම්මා ඔබ ඔය තත්ත්වයට ගේන්න දරපු දුක. දැන් ඔබ දන්නවා ඔබ ඔය තත්ත්වයට ආවේ අම්මා නිසා නේද කියලා. අම්මා මහන්සි වෙලා රෙදි සේදුවේ නැත්නම් ඔයා කවදාවත් ඉගෙන ගන්නේ නැතිවෙයි. ආයතනයකත් තත්ත්වය ඔහොම තමයි. ඉහ නිකට පැහුණු පරිණත ප්‍රධානියා තවත් බොහෝ දේ අනාගත කළමනාකරුවාට පැහැදිලි කළා. ඇත්තටම දක්‍ෂ කළමනාකරුවා මිනිසුන්ගෙන් වැඩ ගැනීමෙන් නොනැවතී ඔවුන්ගේ ජීවිතය උසස් කරන්නත් පියවර ගන්න අයකු වෙනවා. ආයතනයේ මූල්‍ය සම්පත් සහ මූර්ත සම්පත් වගේම මානව සම්පත ගැන හිතන්නත් අවශ්‍යයි. මානව සම්පත් වටිනාකම තේරුම් ගන්න සේවකයන් කරන වැඩ ගැන ගැඹුරු නිරීක්ෂණයක් කළමනාකරුවාට තිබිය යුතුයි. ඒක තේරුම් ගන්න සමහර වෙලාවට වාර්තා පැත්තකට තියලා සමීප නිරීක්ෂණය යොදා ගන්නවා නම් ඉතා වටිනවා''.







0 Comments:
Post a Comment