Sunday, 23 July 2023

දුරකථනය අතට ගන්න වාර ගණන අඩුකරන්න

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

උදවු කරනවා වෙනුවට වීඩියෝ කරන්න සහ ඡායාරූප ගැනීමට ඇබ්බැහි වුණ සමාජයක අප ජීවත්වන නිසා කිසියම් කරදරයක් වුණ අවස්ථාවක උදවු කරන්න කෙනෙක් නැතත් වීඩියෝ කරන්න නම් බොහෝ පිරිසක් ඉඳියි. දෛනික ජීවිතය තුළ තමාගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් කෙළින් කියන්න ඕන දේවල් කෙළින් නොකියා චක්‍රව කියන්නත්, මිනිස්සු සනසන්නවත්, නළවන්නත් කෙටි පණිවුඩ යවමින්ද කතා කරමින්ද බොහෝ දෙනා ජංගම දුරකතනය සමඟම කාලය ගත කරන නිසා අනතුරක් සිද්ධ වුණ වෙලාවක දැන් කාගෙත් අත යන්නේ ජංගම දුරකතනය වෙතයි. එවැනි අවස්ථාවක බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ පළමුව උදවු කරන්න නෙවෙයි, පළමුවෙන්ම වීඩියෝ කර අන්තර්ජාලයට මුසු කිරීමටයි. ඔබට අවශ්‍ය රහසින් වීඩියෝ කරන්නෙක් වෙන්නද? එහෙම නැත්නම් හදවතින් උදවු කරන මනුෂ්‍යයෙක් වෙන්නද?


කෙවින් කාටර් කියන්නේ ඔහේ ඕනෑවට එපාවට කැමරාවක් අතට ගත්ත නිසා ඡායාරූප ගත්ත මිනිහෙක් නෙවෙයි. ලොව බිහිවුණ ජනප්‍රියතම ගවේෂණාත්මක ඡායාරූප ශිල්පියෙක් කෙවින් කාටර්ගේ කතාව ඇත්තටම ජීවිතය කෙසේ වෙතත් ඔබ හිතන විදිය අංශක 180කින් වෙනස් කරයි. කෙවින් කාටර් වගේම දක්ෂ යාළුවෝ හතරක් හිටියා. එනම් Greg Marinovich, Ken Oosterbroek ese Joao Silva. මේ හතර දෙනාගේ එකතුව ඔවුන් හැඳින්නුවේ Band Bang Club ලෙසයි. ඇත්තටම මේ හතර දෙනාම සූරයෝ වගේ තමයි. මොවුන් හතර දෙනා පිළිබඳ සිනමාපටයක්ද The Bang Bang Club නමින් නිර්මාණය වුණා. කතාව ඕක නෙවෙයි. කතාව මේකයි. අද 180 ලිපියේ ඡායාරූපයක් ඔබට දකින්න ලැබෙනවා. එහි සාගතයෙන් පෙළෙන කුඩා දැරියක් හිමින් හිමින් ඉදිරියට ඇදෙනවා. එසේම දැරියට පිටුපසින් අප්‍රිකානු රටවල ජීවත්වන දරුණු ගිජුලිහිණියෙක් ඉන්නවා. දැරිය ගමන් කරන්නේ කොහෙටද? කෙවින් මේ දසුන 1993 මාර්තු මාසයේ දවසකදී කැමරා කාචයට හසුකර ගත්තේ සුඩානයේ සංචාරයක යෙදෙන විටයි. දැරිය ගමන් කරන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර ලබාදෙන ස්ථානයක් වෙතයි. කෙවින් කාටර් හමුදා බට පිරිසකගේ ආරක්ෂාව යටතේ ගිය නිසා ඔහුට දැරියට උදවු කරන්න ලැබෙන්නේ නැහැ. අනික ගවේෂණාත්මක ඡායාරූප ශිල්පීන්ට මෙවැනි සිදුවීම් නිතරම නෙත ගැටෙනවා. එම නිසා ලොකු කියැවෙන එම පින්තූරය ගත්තත් ඔහුට දැරියට උදවු කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ හෝ ඔහු මෙම ඡායාරූපය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අලෙවි කරනවා. එම ඡායාරූපය පළ කිරීමෙන් අනතුරුව ටයිම්ස් පුවත්පතට දුරකතන ඇමැතුම් ලිපි දහස් ගණනක් ආවා. ඒ සෑම ලිපියකම තිබුණේ එකම ප්‍රශ්නයයි. එනම් ආහාර සොයාගෙන යන දැරියට මොකද වුණේ?

1994දී කෙවින් කාටර් සුඩානයේ පවතින සමස්ත දුගී බව එක රූපයකට ගැනීම නිසා එම ඡායාරූපය උදෙසා විශිෂ්ට පුලිට්සර් ත්‍යාගයක් දිනාගන්නවා. එහෙත් ඊට මාස තුනකට පමණ පසුව වයස 38 වන කෙවින් කාටර් සියදිවි නසා ගන්නවා. ඔහු සියදිවි නසා ගන්න පෙර මෙහෙම සටහනක් තබනවා. "මට ගොඩාක් කනගාටුයි. ජීවිතයේ වේදනාව සතුට ඉක්මවා ගියාම තවදුරටත් ජීවිතය තුළ සතුට පවතින්නේ නැහැ. හැමදේටම සල්ලි.. ණය ගෙවන්න සල්ලි... සල්ලි සල්ලි මේ ලෝකයේ හැම දෙයටම සල්ලි. මම ගොඩාක් මතක හඹා ගිය කෙනෙක්. මළමිනී, තුවාල වුණ දරුවෝ, පිස්සු මිනිස්සු, පොලිසිය, දරුණු ගැටුම් ඇතුළු තවත් ගොඩාක් අමිහිරි මිහිරි මතක. මට කෙන් ළඟට යන්න පුළුවන් නම් මම වාසනාවන්තයි ". එහි කෙන් යනු ඊට මාස තුනකට පෙර වෙඩි වැදීමකින් ඝාතනය වුණ ඔහුගේ ඡායාරූප කණ්ඩායමේ යහළුවායි.

කෙවින් කාටර් සියදිවි නසා ගැනීමක් වෙත පොලඹවන්නේ ඔහුම රැස්කළ අමිහිරි මතක ගැන හිතලා හිතලාම ඇති වුණ විශාද තත්ත්වයයි. කෙවින් දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වෙලා ලෝකයේ බොහෝ දෙනෙක්ට බොහෝ දේ පෙන්නලා දුන්නා. එහෙත් ඔහු ඒ බොහෝ මතකවල සාක්ෂිකාරයා වුණා මිසක උදවුකාරයා වෙන්න බැරි වුණා. කෙනෙක් වැටුණාම ඔහු හෝ ඇය වීඩියෝ කරන්නේ නැතිව ඔහුට අත දෙන්න පුරුදු වෙන්න. මිනිසුන්ගේ තරහ, ආවේගයන්, කදුළු සහ මෝඩකම් එකතු කරන සාක්ෂිකාරයෙක් වෙනවාට වඩා ඒවා තුළින් ජීවිත පාඩම් ඉගෙන ගන්න මනුෂ්‍යයෙක් වීම ඉතා වටිනවා.

මිතුරුකම් සහ සම්බන්ධතා පවත්වන්න නිරන්තර කෙටි පණිවුඩ සහ දුරකතන ඇමැතුම් ඇත්තටම අවශ්‍ය නැහැ. සමාගම්වල අලෙව්කරණ උපක්‍රමවලට අහුවෙලා තියෙන නිසා ජංගම දුරකතනයෙන් තොර ලොවක් නැති තරමටම මිනිස් ජීවිත පටු වෙලා. ජංගම දුරකතනය පැත්තකට විසි කරලා පරිසරය සහ තමන්ගේම මනස සමඟ විනාඩි 10ක් ඔබ සමාධිගත වුවහොත් බොහෝ සැනසුමක් ජීවිතයට ළඟාකරගන්න පුළුවන්.

ඔබගේ ජංගම දුරකතනය අතට ගන්න වාර ගණන අඩු කරන්න. එහෙම වුණාම පිරිසක් තරහ වෙයි ගණන් ගන්න එපා. යහළුකම් පවත්වාගෙන යන්න නිතරම කතා කරන්න අවශ්‍ය නැහැ.

0 Comments:

Post a Comment