Sunday, 23 July 2023

වැව් වගේ මිනිස්සුන්ට ගල් ගහනවා මඩ ගහනවා

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

මම බොහෝ කාලයකට පස්සේ අට නවය වසරේදී අකුරු කියා දුන්න අපේ ගුරුතුමා බලන්න ගමට ගියා. අදත් ඉතාම සැහැල්ලු ජීවිතයක් ගත කරන ඔහුගේ දින චර්යාවට මම පුංචි කාලේ කොයිතරම් ප්‍රිය කළාද? බයිසිකලයක නැඟලා සුදු පාට ජාතික ඇඳුමෙන් සැරසිලා පාසලට එන මඟදී අපි කවුරුහරි මුණගැසුණොත් අපිවත් බයිසිකල් බඳේ වාඩිකරගෙන එන්න අමතක කරන්නේ නෑ ඔහු. පාසල් වත්තේ තියෙන ගහකින් අඹ ගෙඩියක් කඩාගෙන කෑවාට කවදාවත් ගැහුවේ නෑ. එහෙත් පාසල් ගේට්ටුව අසල වෙරළු විකුණන ආත්තම්මාගෙන් වෙරළු උස්සපු දිනක කම්මුල් ඉදිමෙනකල් පෝලිමට හිටවලා අපිට ගැහුවා හොදට මතකයි. මගේ ජීවිතය වගේම ගමත් වෙනස් වෙලා ගමේ බොහෝමයක් දෙනාගේ ජීවිතයක් වෙනස් වෙලා.

මම යන විට ඔහු පොතක් කියවමින් හිටියේ පොතේ නම්

එමා බෝවාරි ගුස්ටාව් ප්ලෝබෙයාර්ගේ මහා ප්‍රංශ නවකතාව. මමත් ඒක බොහෝ කාලයකට කලින් කියවලා තියෙනවා. එහෙත් මගේ ගුරුතුමා එම නවකතාව ජීවිතයේ සැඳෑ සමය එළැඹෙන තුරුම නොකියෙව්වා කිව්වාම මම පුදුම වුණා. මන්දයත් ඔහුගේ විනෝදාංශයත් පොත් කියවීම.

“මේක මම කියවන්නේ තුන්වැනි පාරටඔහු මගේ සිත තුදු උපත් ප්‍රශ්නය දැනගෙන දෝ එහෙම කිව්වා.

“ඒ කතාවේ එම බෝවාරි ගැන සර් හිතන්නේ මොකක්ද

එම ලස්සන මලක්. එහෙත් එමා වැවක් වුණා නම් එහෙම විනාශ වෙන්නේ නෑ. එමා බැලුවේ පිපිලා තෘප්තිමත් වෙන්න. එහෙත් එමාට දහසක් මල් පුබුදුවන්න තරම් හැකියාවක් තිබුණා. ඇය ඒක ප්‍රයෝජනයට ගත්තේ නෑ”.

ඒ කතාවත් සමඟ අපි පාසලෙන් අස්වෙලා යන දවසේ ඔහු අපි සියලු දෙනාටම පොතේ අන්තිම පිටුවේ ලියාගන්න කිව්ව කවි පෙළක් මට මතක් වුණා. රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ එම කවි පන්තිය තාමත් මට මතකයි. ජීවිතය අංශක 180කින් වෙනස් කරන අපූරු අරුතක් කැටිවුණු එම කවිය හැදෙන වැඩෙන දරුවකුගේ පොතක මුල්ම පිටුවේත්, ඉහ නිකට පැහුණු වැඩිහිටියකුගේ හදවතේත් සටහන් වෙනවා නම් ජීවිතයේ බොහෝ තැන්වලදී උපකාර වෙයි. කලබලයෙන් තොරව කවිය මුල සිට අගට චිත්ත රූප මවමින් කියවන්න.

ගංඟාවක් වී ගලන්න උල්පත පසු කර - වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට

බිල් දිය මත ගල් කැටයක් වැවුණු වෙලාවට - රැල් සිය දහසක් නැඟේවි රිදිලා හදවත

දුවිල්ලෙන් වැසුණු දාට නිල් මිටියාවත - සිහිකරන්න කඳු පාමුල මවුකිරි උල්පත

ඇල්මෙන් අකුරට ඇවිදින් අකුරු ඉගෙන ගෙන කඳු මුදුනට නැඟ බලන්න ජීවිතයේ උස

සමාජයේ බොහෝ දෙනා කියන්නේ නෙළුම් මලක් වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ පවා නෙළුම් මලකට උපමා කරනවා. නෙළුම එහෙමත් නැත්නම් අරවින්දය සුපිරිසුදු බවේ සංකේතයයි. අන්න ඒ නිසාම තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතා ඔහුගේ විශිෂ්ටතම නවකතාව වන විරාගය නවකතාවේ ප්‍රධාන වර්තය අරවින්ද ලෙස නම් කරන්නේ.

එහෙත් රත්න ශ්‍රී කවියා කියන අපට පෙන්වන වෙනස් අරුත බලන්න. ඔහු කියන්නේ නෙළුම් මලක් වෙන්න එපා. නෙළුම් මල් දහසක් පුබුදුවන මහා වැවක් වෙන්න කියලා. එය කෙතරම් සංවේදීද? උල්පත පහුකරගෙන ගිහින් ඔහේ මුහුදුට වැටෙන්නේ නැතිව සබඳ ඔබ නතර වෙන්න නෙළුම් මලක් යට. මතක් කරලා බලන්න වැව නෙළුම් මල් දහසක් දරාගෙන ඉන්නවා නේද? වැවත් හරියට අපේ ගුරුවරුන් වගෙයි. ඔවුන්ට නෙළුම් මල් වගේ ඉස්සහට පිපෙන්න බැරි වෙන්නේ නෙළුම් මල් පුබුදුවන මහා වැව් බවට පත්වෙන්න සිද්ධ වෙන නිසා.


වැවක් වගේ මිනිහෙක් වුනාම සමාජයෙන් බාධා උරුම වීම සාමාන්‍යයයි. සමහරු ගල් ගහයි
, මඩ ගහයි, කෑ ගහයි. එහෙත් ඒවා ගණන් ගන්න එපා. හදවත ගොඩක් රිදුණාම සිනා රැව් මුව පුරා විසිරෙන්න ඉඩ දෙන්න. වැවකට ගලක් විසි කළාම රිදී පාට වැව් දිය මත රවුමට ඇදෙන දිය රැළි මතක් කරන්න. වැව එහෙම සිනා රැලි නංවලා විදුම් පිටකරනවා. ගල වැව් පත්ලේ ගිලෙනවා. ගල වැටුණු තැන ජලයෙන් පිරිලා ඒ තුවාලය හිතන්නත් බැරි ඉක්මකින් සුවකරනවා. යළිත් වැව නිසලව ගැඹුරුව ඉන්නවා. අන්න ඒ වගේමයි වැව් වගේ ශක්තිමත් මිනිස්සුත් කිසිම දෙයකට සැලෙන්නෙ නම් නෑ.

විධිමත්ව හෝ අවිධිමත්ව හොඳට ඉගෙන ගන්න. පොත පතින් බැරිනම් අත්දැකීමෙන් ඉගෙන ගන්න. එතකොට කන්දක් උඩට නගිනවා වගේ දැනෙයි. ඉස්සර සමාන්තරව ඉද්දී හරියටම තේරුම් ගන්න බැරිව ප්‍රහේලිකාවක් වුණ දේවල් කඳු මුදුනේ සිට බලද්දී හරියට තේරුම් ගන්න පුළුවන් වෙයි. ජීවිතය වෙනස් කරන කතාවක් කියන්න බැරිවුණාට මට සමාවෙන්න. එහෙත් එම කවි තුළ කතා කිහිපයක් තියෙනවා කියලා මට හිතුණා.

0 Comments:

Post a Comment