කැලුම් වැලිගම - kelumweligama@gmail.com
ලස්සන ළඟ කවියෙකි ගොළු වන්නේ
ලස්සන ළඟදියි කදුළුත් එන්නේ
ලස්සන ගැන මොන මිනිහද දන්නේ
ලස්සන තද රිදුමෙහි බිහි වන්නේ
විමලරත්න
කුමාරගමගේ මහතා ඒ ලස්සනම ලස්සන කවිය ලස්සනට ලියන්නේ බොහොම කාලෙකට කලින්. එහෙත් එම
කවිය අදත් පිච්ච මලක්. හරිම ලස්සනයි. ලස්සන මැද ඇයි කඳුළුයි රිදුමයි? ඔබගේ සිතට
නෙවෙයි. ඔයාගේ හදවතට එම ප්‍රශ්නය සංවේදීව දැනිලා නැද්ද?. බොහෝ ලස්සන දේවල්වල
ආරම්භක ලක්ෂ්‍යය තියුණු වේදනාව. ලස්සන මැද තියෙන තද රිදුම ගැන මට මෙහෙම ලියන්න
හිතුණේ 'ජේසුස් මැරීම' (Killing Jesus) නම් පර්යේෂණ ග්‍රන්ථය කියවීමෙන් පස්සෙ. බිල් ඔරිලි සහ මාර්ටින්
ඩුගාර්ඩ් නම් ලේඛකයන් රචනා කළ විකුණුම් වාර්තා තැබූ එම කෘතිය පදනම් වෙලා තමයි Killing
Jesus නම් සිනමාපටය බිහි වුණේ. ජේසුස් වහන්සේ කුරුසියේ තබා කුරිරු
ලෙස ඝාතනය කිරීමේ කතාව බොහෝ දෙනා දන්නවා. නමුත් උන්වහන්සේ ජීවත් වූ සමයේ රෝම
පාලනයත්, ජෙරුසලමයේ දේවස්ථානයේ පාලනයත් එහි ප්‍රාදේශීය
පාලනයත් එකතුවෙලා නසරාත්හි ජේසුස් නම් ප්‍රභාෂ්වර පෞරුෂයකින් හෙබි තරුණයා
වැරැදිකරුවා බවට පත් කරන්න මෙහෙයවන ලද රහසිගත කූඨ දේශපාලන උපක්‍රම කෘතිය තුළ
සිත්ගන්නා ලෙස සහ පර්යේෂණාත්මකව හෙළි කරනවා. එම නිසා එය හුදු දේව භක්තියෙන් ලියන
කෘතියකට එහා ගිය යමක් ප්‍රායෝගිකව පෙන්වනවා. මිනිසුන්ගේ නොමඳ ආකර්ෂණය දිනාගෙන
හිටිය උන්වහන්සේ ජෙරුසලමේ අනාගත රජු වෙයි යන බිය පාලකයන් තුළ ඇති වීම ඔහු සාහසික
ලෙස මරුමුවට පත් කරන්න මූලිකම් හේතුවක් වුණා. එම නිසා තමයි උන්වහන්සේ කුරුසියේ තබා
ඇණ ගහන්න පෙර රජ ඔටුන්න වෙනුවට කටු ඔටුන්නක් පලඳවන්නේ. එසේම කුරුසයේ ඉහළම INRI
ලෙස සඳහන් පුවරුවක් එල්ලන්න එවකට ජෙරුසලම භාර රෝම පාලක ප්‍රොන්තියස්
පයිලට් තීරණය කරනවා. එහි දිගු තේරුම ''නසාරෙත්හි ජේසුස්
යුදෙව්වන්ගේ රජු'' යන්න.
'යුදෙව්වන්ගේ
රජු වෙන්න ගිය මිනිහාව වුණ දේ මෙන්න බලාපල්ලා' ලෙස ජනයාට
පෙන්වීම එම පුවරුව සවි කිරීමේ සැඟවුණු අරුත වුණා. ජාති, ආගම්
භේදයකින් තොරව උන්වහන්සේ පිළිබඳ අප අධ්‍යයන කළ යුතු වන්නේ උන්වහන්සේ වින්ද තද
රිදුමෙන් අපට ඉගෙන ගන්න බොහෝ දේ තියෙන නිසයි. එහෙත් එම තද රිදුම ඉතාම ලස්සන වෙන්නේ
උන්වහන්සේ අවසානයට කියන වාක්‍ය හතෙන් අර පුවරුව සවි කරන්න ගිය සෙබළාට උන්වහන්සේ
අහස දෙස බලාගෙන මුමුනන්න යමක් යාන්තමට වගේ ඇහුණා. ඔහු එම පුවරුව එල්ලලා පහළට ආවාට
පස්සේ ඈත සිට ජේසුස් වහන්සේගේ අභිනයන් දැක්ක කෲර රෝම උසස් හමුදා නිලධාරියෙක්
සෙබළාගෙන් මෙහෙම අහනවා. ''ඔහු අපට නොසෑහෙන්න ශාප කළාද''
''නැහැ.
ඔහු කාව්වත් ශාප කළේ නැහැ.
"
සෙබළාගේ මුව මත සටහන්ව තිබුණේ අසීමිත දුකක්.
"එහෙනම් ඔහු අර මොකක්ද කිව්වේ"
"ඔහු ඔහුගේ දෙවින්ගෙන් අපට සමාව දෙන්න කියලා ඉල්ලමක් කළා. " උසස් කෲර නිලධාරියාගේ හිත තුළ පැනනැඟුණේ
නොවිසඳෙන ප්‍රශ්නයක සේයාවක්. මිනිහෙක්ට එහෙම සමාවක් දෙන්න පුළුවන්ද? තද
රිදුමක් දැනෙන මොහොතක රිදුම් දෙන්නාට වෛර කරන සිතින් අවලස්සන දේවල් දහසක් බිහි
වෙනකොට එවැනි කාරුණික ඉල්ලීමක් අහස දිහා බලාගෙන කරන මිනිසාට කෙතරම් ලස්සන හිතක්
තියෙන්න ඕනද?
"දෙවියන් වහන්ස, ඔවුන්ට සමාව දෙනු මැනවි. ඔවුන්
කරන දේ ඔවුහු නොදනිති"
ඒ ජේසුස්
වහන්සේ මියයන්නට අවසානයට පෙර කියන වාක්‍ය හතෙන් දෙවැනි වාක්‍යය .උන්වහන්සේ කල්වාරි
කන්දේ සිට බොද වුණ දෙනෙතින් ඈත නගරය දෙස බලාගෙන අවසානයටම කියන්නේ "එය අවසානයි
(it is
finished) කියන වදන් පෙළ. ඒ ජේසුස් වහන්සේගේ මුවින් පිට වෙන
හත්වැනි අවසානම වාක්‍යය. මේ ලෝකයට ඔහු පැමිණි කාර්යය අවසාන කළ බව එයින් දන්වනවා.
මිතුරෝ
සතුරෝ වන විට,
පෙම්වතියන් වෙනස් වන විට, මවුපියන්
අවවාද කරන විට පපුවට පිහි බැස්සවීමට තරම් සාහසික අදහස් එන සිත්වලට ජේසුස් වහන්සේ
කදිම ආදර්ශයක්. බොහෝ දෙනා එකතුවෙලා දස වධ දෙද්දී මිතුරාට මෙන්ම සතුරාවද ප්‍රේම කරන්න
කියලා උන්වහන්සේ තම සගයන් වන සයිමන්, ජේම්ස් වගේ පිරිස්
සමග නසාරෙත්හි වීදි පුරා සැරිසරමින් එහෙම කියද්දී 'ඔබගේ
ප්‍රකාශ මිනිස්සු දුර්වල කරනවා' කියලා මුලින් මුලින්
බොහෝදෙනා ඔවුන් ප්‍රතික්ෂේප කළා. ආගමෙන් තම ජීවිතය පෝෂණය කර ගන්නවා වෙනුවට ආගම්
තමාගේ කරගෙන එය පෝෂණය කරන්න වෙර දරන නිසා අද බොහෝ ආගම් වසරේ සෘතුවලට සීමා වුණ
වසන්ත සැණකෙළි වෙලා. එහෙත් එම ආගම් ලොවට දායාද කළ බොහෝ නායකයන් වින්ද රිදුම් තමයි
පසු කාලීනව ජීවිත බිලියන ගණනක් ලස්සන කළේ. සිද්ධාර්ථ කුමාරයා රජ පවුල වගේම ධනය බලය
යන සියල්ල අතහැරලා වසර හතක් නොකා නොබී වනයකට වෙලා ගත කළ දුෂ්කරක් ක්‍රියාවේ
රිදුමත්, නසාරෙත්හි නිහතමානී වඩුවෙක් ලෙස තාරුණ්‍යය ඇරැඹූ
ජේසුස් වහන්සේ කුරුසියේ කියලා ඇණ ගහලා කටු ඔටුන්නකුත් පලඳවලා මරණයට පත් කළ රිදුමත්
අවසානයේ ලොවට බිහි කළ ධර්මය කෙතරම් ලස්සනද? ඉතින් 'ලස්සන
තද රිදුමේනි ටිහි වන්නේ' ලෙස විමලරත්න කුමාරගම මහත්මයා
කියන ප්‍රකාශයට අපට 100%ක් එකග වෙන්න සිදුවෙනවා නේද? තද
රිදුමකට ජීවිතය ලස්සන කරන්න පුළුවන්. එය විශ්වාස කරන්න.







0 Comments:
Post a Comment