කැලුම් වැලිගම - kelumweligama@gmail.com
මල් මිය යන්නේ තවත්
මල් පුබුදුවමිනි. දලු ලියලන්නේ පැරැණි කොළ බිමට පතිත කරමින්. මේ වගේ නැවුම් දේවල්
ලෝකයට දායාද කරලා ඉතා නිහඬව නැතිවෙලා යන ජීවී අජීවී වස්තූන් ඕනෑ තරම් තියෙනවා.
නැතිවෙලා යන්න කලින් තවත් අයට ප්‍රයෝජනවත් වෙන දෙයක් ඇති කරලා යන්න පුළුවන් නම් එය
කොයිතරම් සුන්දරද? මල් වගේ හිටිය මිනිස්සු මිය ගියත් ඔවුන් මේ
ලෝ තලය තුළ සුවඳ හමන පුංචි ලේන්සුවක් හෝ තියලා යන්න අමතක කරන්නේ නැහැ. සුවඳ වහනය
වෙන ලේන්සුවක් තියලා ගිය අපූරු මිනිසකු ගැන ඇත්ත කතාවක් අහමු. ඔහු එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ්.
කවුරු හරි කෙනෙක් ඒ නම අහලා නැතත් "ද ග්‍රේට් ගැට්ස්බි" කියන නම ගොඩක්
දුරට අහලා ඇති. එෆ්. ස්කොට් ෆිට්ස් ජෙරල්ඩ් ලිව්ව “ද ග්‍රේට්
ගැස්ට්බි” නවකතාව පදනම් කරගෙන නිර්මාණය වුණ "ද ග්‍රේට්
ගැට්ස්බි” සිනමා පටය 2013 වසරේදී
අති සාර්ථකව ලොව පුරා තිරගත වුණා. ලියනාඩෝ ඩිකැප්රියෝ විශිෂ්ට රංගන දායකත්වයක් ලබාදෙන
එම සිනමා සිත්තම හොලිවුඩ් සිනමාව ලොවට දායාද කළ තවත් අපූරු නිමැවුමක් කියලා කියන්න
පුළුවන්.
එෆ්. ස්කොට් ෆිට්ස් ජෙරල්ඩ් ලිව්ව "ද ග්‍රේට් ගැස්ට්බි" නවකතාව ඇමෙරිකානු සාහිත්‍යයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද විචාරකයන්ගේ සේම පාඨකයන්ගේ නොමඳ පැසසුමට ලක්වුණ විශිෂ්ට කෘතියක්. 1920 දශකයේ ඇමෙරිකාව තුළ ඇතිවුණ ආර්ථික පිබිදීම තුළ මිනිස් ජීවිත සහ සමාජයීය ජීවන රටාවන් වෙනස් වුණ ආකාරය ගැන ගැඹුරු පැතිකඩක් මෙම නවකතාවෙන් නිරූපණය කරනවා. මාර්ටින් වික්‍රමසිංහ ලාංකේය සමාජයේ තීරණාත්මක යුගයක සිදුවූ පෙරළිය "ගම්පෙරළිය'' නවකතාව ඔස්සේ පෙන්නුවා වගේම ෆිට්ස් ජෙරල්ඩ්ස් ඇමෙරිකාවේ සිදු වූ සමාජ විපර්යාසය “ද ග්‍රේට් ගැට්ස්බි" නවකතාව මඟින් පෙන්නුවා. ෆිජෙරල්ඩ් ඒ යුගය ජෑස් යුගය වශයෙන් හැඳින්නුවා. එම කාලයට ජෑස් කියන නම යොදන ලද්දේද ෆිට්ස් ජෙරල්ඩ් විසින්මයි. ඔහුගේ විශිෂ්ට නවකතාව පසුපස ජීවිතය අංශක 180කින් වෙනස් වෙන තවත් අතුරු කතාවක් තියෙනවා.
ෆිරල්ඩ් පුංචි කාලේ
ඉදලම සිහින මැවුවේ කවදා හෝ මිනිස් ජීවිත වෙනස් කරන ලේඛකයෙක් වෙන්න. ලේඛකයෙක් වීම
අනිත් සියලුම සිහිනවලට වඩා සැබෑ කරන්න අමාරු සිහිනයක් කියලා ඔහුට තේරුණා. මන්ද යත්
ලියන්නා ලියන දේ රසිකයා පිළිගනියිදෝ, ප්‍රතික්‍ෂේප කරයිදෝ කියන
අවදානම ලේඛකයෙක් වෙන්න සිහින මවන ඕනෑම ලේඛකයෙක්ට තියෙනවා. ඔහු පාසල් සමයේ ඉඳලම
ලියන්න පටන් ගත්තා. වයස අවුරුදු 13දී පාසල් සඟරාවකට රහස්
පරීක්‍ෂක කතාවක් ලිවීම ඔහුගේ මුල්ම උත්සාහයක් වශයෙන් හඳුන්වන්ත පුළුවන්. ලියපු
පළමු කතාවෙන්ම ජනප්‍රිය වෙන්න තරම් ඔහු වාසනාවන්ත වුණේ නැහැ. නමුත් ෆි ජෙරල්ඩ්
දිගින් දිගටම තම අදහස් ප්‍රකාශ කරන්න ලැබුණ සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. පසුව
ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසුව ප්‍රින්ස්ටන් සරසවියට ඇතුළු වුණා. නමුත් ඔහු උපාධිය
අතරමඟ දමා පළමු ලෝක යුද්ධය වෙනුවෙන් සටන් කරන්න යුද්ධයට බැඳුණා. යුද පිටියේ සටන්
කරද්දී පවා ඔහු නිතරම කල්පනා කළේ කවදා හෝ දවසක ලේඛකයෙක් වෙන අයුරු ගැන. යුද්ධයේදී
මියගියොත් තමන්ට ලේඛකයෙක් වීමේ සිහින බිඳ වැටෙයිදෝ කියන බියෙන් පවා ඔහු පසුවුණා.
යුද්ධය නිමාකරලා නැවැත
නිවෙසට පැමිණි පසුව ෆිට්ස් ජෙරල්ඩ් යළිත් ලියන්න පටන් ගත්තා. 1920
දී පළකළ This side of paradise ඔහුගේ ප්‍රථම නවකතාව වුණා.
ඉන්පසුව ඔහු 1925 දී The Beautiful and Damned නවකතාව ප්‍රකාශ කළ අතර 1925 දී ඔහුගේ සිහින
නවකතාව වුණ The Grat Gatsby නවකතාව පළකළා. නමුත් ඔහුගේ
විශ්වසනීය සිහිත කෘතිය, ඔහුගේ විශ්වසනීය සිහින බිඳ
දැම්මා. මන්ද යත් “ද ග්‍රේට් ගැට්ස්බි" නවකතාව අලෙවි
වුණේ ඉතාමත් සෙමින්. නවකතාව පළ කිරීමෙන් වසර දහයක් ගත වන විටත් අලෙවි වෙලා තිබුණේ
පිටපත් 20,000ක පමණ ප්‍රමාණයක්. මෙය ඇමෙරිකාව වගේ රටක
ඉතාම සුළු පිටපත් ප්‍රමාණයක්. ෆිටි ජෙරල්ඩ් මේ සම්බන්ධව සැහෙන්න කලකිරුණා. ද ග්‍රේට්
ගැට්ස්බි" නවකතාව ජනප්‍රිය විය යුතු විශිෂ්ට කෘතියක් කියලා ඔහු දැඩිව විශ්වාස
කළා. එයින් ඔහු කොයි තරම් කලකිරීමට පත්වුණාද කියලා කියනවා නම් ඔහු නැවත වසර නවයකට
පසුව තමයි Tender is the Night නවකතාව ප්‍රකාශ කරන්නේ. ලේඛකයෙක්
වුනත් මිනිස ජිවිත වෙනස් කරන විශිෂ්ට ලේඛකයෙක් වෙන්න බැරිවුණා කියන දුකින් පසුවුණ
ඔහු 1940 දෙසැම්බර 21දා වයස
අවුරුදු 44ක් ජීවත්වෙලා මියයනවා. තමා අසාර්ථක ලේඛකයෙක්
කියන මතය ඔහු මියයන තුරුම ඔහුගේ මනසේ තිබුණු බව පැවැසෙනවා. 'ද ග්‍රේට් ගැට්ස්බි' කෘතියට හිතපු තරම් ප්‍රතිචාර සහ අවධානය නොලැබීම ඊට බලපෑව ප්‍රධාන
හේතුව වුණා. නමුත් මියගිහින් වසර කිහිපයක් ගත වෙන තැන 'ද ග්‍රේට්
ගැට්ස්බි' නවකතාව ටිකෙන් ටික ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා.
සෙබළුන්ට මානසික විවේකයේදී කියවිය යුතු පොතක් ලෙස එය නියම වුණ අතර පිටපත් 1,55,000 සෙබළුන් අතරේ බෙදා දුන්නා. එය 'ද ග්‍රේට් ගැට්ස්බි'
කෘතියේ විකුණුම් වේගවත් කළ සිදුවීමක් වුණා. ෆිජෙරල්ඩ් ජීවත් වුණ
කාලයේදි පිටපත් සුළු ප්‍රමාණයක් විකුණන නවකතාව මේ වන විට පිටපත් ලක්ෂ 160ක් විකිණිලා අවසානයි. එසේම එය පදනම් කරගෙන දැවැන්ත සිනමාපට 5ක් නිර්මාණය වුණා. අද වන විට 'ද ග්‍රේට් ගැට්ස්බි' ඇමෙරිකානු සාහිත්‍යයේ ස්වර්ණමය කෘතියක් වශයෙන් සලකනවා. නමුත් ෆිට්ස්ජෙරල්ඩ්
මේ කිසිම සාර්ථකත්වයක් දකින්න තරම් වාසනාවන්ත වුණේ නැහැ. නමුත් ඔහු මැරෙන්න කලින්
තබා ගිය මලේ සුවඳ කාලයක් ගියාම සෙමින් සෙමින් හමන පටන් ගත්තා. සැබැවින්ම ෆිට්ස්
ජෙරල්ඩ් මිනිස් ජිවිත වෙනස් කළ ලේඛකයෙක්. සමහර සිහින අතරමඟදී සිහිත දකින්නාට
ගිලන්ව මියයන්න සිද්ධ වෙයි. නමුත් හඹා ගිය සිහිනය වඩා විශිෂ්ට නම් සිහින දකින්නා
මිය ගියත් කවදා හෝ දවසක සිහිනය සැබෑ වෙනවා.







0 Comments:
Post a Comment