Sunday, 23 July 2023

තට්ටු කළාට ඩොලර් 2යි

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

දැනුම කියන්නේ මේ විශ්වයේ තියෙන ඉතා වටිනාම සහ ඉතා විනාශකාරී සම්පත කියලා හඳුන්වන්න පුළුවන්. මිනිස්සු දහස් ගණනකගේ ජීවිත සුවපත් කරන බෙහෙත් සොයාගන්න උදව් වෙන දැනුමම තමයි මිනිස්සු ලක්ෂ ගණනකගේ ජීවිත තත්පරයෙන් විනාශ කරන්න සමත් න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනයටත් අවශ්‍ය වෙන්නේ. දැනුම එක් අන්තයන් දෙව්ලොවට ගමන් කරන විට එහි අනෙකුත් අන්තය අපාය දෙසට ගමන් කිරීම නවත්වන්න පුළුවන් වෙන්නෙත් දැනුමෙන් ස්වයං පෝෂිත මිනිසුන්ට පමණයි. කොහොම වුණත් දැනුම තමයි බලය කියන කාරණය ඊයේ වගේම හෙටත් වලංගුයි.

මෑත දිනයකදී මගේ උගත් මිත්‍රයෙක් පැවැසුවේ ලියනාඩෝ ඩාවින්චි සිතුවම් කළ මොනාලිසා චිත්‍රය මිල කළ නොහැකි සිතුවමක් ලෙස නම් කර සිටීම තේරුමක් නැති වැඩක් කියලා. නමුත් මම දිගින් දිගටම ඔවුත් සමඟ වාද කරමින් කිව්වේ නිර්මාණශීලීත්වය, දැනුම ආදී දෑවල මිල අමිල වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා කියලා. මට ඊට පිළිතුරු විදියට ඔහුට දැනුම ගැන සරල කතාවක් කිව්වා. හැබැයි ඒ කතාවෙන් පස්සේ මගේ යාළුවාගේ සිතිවිලි අංශක 180න් වෙනස් වුණ බව නම් පෙනුණා. මෙන්න ඒ කතාව.


දවසක් අති විශාල ප්‍රමාණයක වටිනා භාණ්ඩ තොගයක් රැගෙන ගමන් ආරම්භ කරන්න ගිය දැවැන්ත නැවක් වරායේ දීම එකපාරටම නැවතුණා. නැවේ කපිතාන් ඇතුළු සියලුම කාර්මිකයන් එක්ව නැවැත නැවැතත් ක්‍රියාත්මක කරන්න නොයෙක් නොයෙක් උත්සාහ කළත් පණ ඇද ඇඳ ඉන්න එන්ජිම මලානික ශබ්දයත් පිටකළේ "අනේ මට නම් කොහොමත් වැඩ කරන්න බැහැ කියනවා වගේ. නැවේ අසුරා තියෙන භාණ්ඩ තොග නිසි කාලයට බාර නොදුන්නොත් විශාල පාඩුවක් දරන්නට සිද්ධ වෙන නිසා කපිතාන්ට හින්දාඩිය දැම්මා. කපිතාන් ඔහුගේ ප්‍රධාන කාර්මිකයන්ට නැවත එන්ජිම කොහොම හරි පණගන්වන්න කිව්වත් ඔවුන් කිසිවකුට නැවේ එන්ජිම ක්‍රියාත්මක නොවීමට හේතුව සොයාගන්න බැරි වුණා.

මේ අතර නැව් අලුත්වැඩියාව කරන මහල්ලෙක් ළඟ පාත ඉන්නවා. එයාට කියලා බලමු කියලා එතෙන්ට ආව කෙනෙක් කපිතාන්ට කිව්වා. කපිතාන් වහාම ඔහු කැඳවාගෙන එන්න කියලා නිලධාරියෙක් යැව්වා. ටික වේලාවකින් වයස අවුරුදු 65ක විතර මහල්ලෙක් ලොකු ලෙදර් බෑග් එකකුත් අරගෙන ආවා. ඔහු මුලින්ම කළේ බෑග් එකේ තියෙන ආයුධ ඔක්කොම එළියට අරගෙන ඉතා පිළිවෙළට තියෙන එක. ඊට පස්සේ ඉතා සන්සුන්ව නැව් එන්ජිම පරීක්ෂා කළා. ඔහු කිසිවකුට කිසිවක් නොකී අතර වටේ පිටේ අය කියන කතා ද කිසිවක් අහන්නේ නැතිව එන්ජිම සූක්‍ෂමව පරික්ෂා කළා. ඔහු තවත් ටික වේලාවකට පස්සේ ඔහුගේ ආයුධ අතර තියෙන පුංචිම මිටිය අරගෙන එන්ජිමේ ඇණයකට කිහිපවරක් ගැහුවා. මිටියෙන් ඇණයට තැළීම නැවැත් වූ ඔහු එන්ජිම වටේට එකතු වෙලා ඉන්න කපිතාන් ඇතුළු පිරිසට මඳ සිනාවක් පෑවේ ඔන්න දැන් වැඩේ හරි කියනවා වගේ. දැන් නැව පණගන්වන්නකෝ" මහල්ලා අත්දෙක පිසදමමින් කිව්වා. සියල්ලෝම පුදුම කරමින් නැව ක්‍රියාත්මක වුණා. කපිතාන්ටත් ගොඩක් සතුටුයි. කපිතාන් ගාණ කියද කියලා ඇහුවාම ඉන්වොයිස් එක පස්සේ එවන්නම් කියලා මහල්ලා යන්න ගියා.

හරියටම ඊට සතියකට විතර පස්සේ නැව අයත් සමාගම් කාර්යාලයට මහලු කාර්මිකයාගේ ඉන්වොයිස් එක ලැබුණා. එහි සඳහන්ව තිබුණේ නැව් අලුත්වැඩියාවට ඩොලර් 1000ක් අය කරන බව. නැවේ කපිතාන්ට ඉන්වොයිස් එකේ සඳහන් මුදල දැක්කම ඌරුජුවල් නැග්ගා. මිටියෙන් තට්ටු කරන්න ඩොලර් 1000ක් ගන්න නාකියා. "මුට කීයක්වත් දෙන්න හොඳ නැහැ" කියලා කපිතාන් කෝපයෙන් හිතුවා. ඔහු මහල්ලාට පිළිතුරු ලිපියක් යවමින් පැවැසුවේ අලුත්වැඩියාවට අදාළ විස්තරාත්මක ඉන්වොයිස් (Detaild Invoice) එකක් අවශ්‍ය බව. එම ලිපියට සතියකට පසු මහල්ලා විස්තරාත්මක ඉන්වොයිසියක් කපිතාන්ට එව්වා. එහි මෙහෙම දෙයක් සටහන්ව තිබුණා. මිටියෙන් ඇණේට තට්ටු කිරීමට ඩොලර් 2 යි. මිටියෙන් තට්ටු කරන්න ඕන ඇණේ තියෙන තැන හොයාගත්තට ඩොලර් 998යි. සම්පූර්ණ අය කිරීම ඩොලර් 1000 කියලා තිබුණ විස්තරාත්මක සටහන දැක්ක නැවේ කපිතාන්ට දැනුමේ වටිනාකම හරියටම තේරුණා. එම නිසා ඔහු ඩොලර් 1000ක මුදල මහල්ලාට ලබාදෙන්න තීරණය කළා.

ඇත්තටම වැදගත් වෙන්නේ ඇණේට මිටියෙන් තට්ටු කිරීමද? එන්ජිමේ තියෙන ඇණ දහස් ගණනක් අතරින් මිටියෙන් තට්ටු කරන්න ඕත ඇණය හරියටම හොයාගන්න එකක්ද? ඔයා දන්නවා ඒකට උත්තරේ. අන්න ඒක නිසා තමයි දැනුම මිල කළ නොහැකි වටිනා වත්කමක් වෙන්නේ. ඔබේ දැනුම කිසිම විටක කිසිම තැනකදී අවතක්සේරු කරන්න එපා. ජීවිතයේදී දැනුම නොමිලේ තොග වශයෙන් බෙදා හැරිය යුතු තැන් මෙන්ම දැනුම ඉහළම මිලකට අලෙවි කළ හැකි අවස්ථාත් ගොඩයි.

0 Comments:

Post a Comment