Sunday, 23 July 2023

වැල්ලට ගහගෙන එන රත්තරන් පාට මාළු

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

දවසක් සංචාරකයෙක් හිරුරැස් ආදරයෙන් වැල්ලට හාදු දෙන කහපාට වෙරළ තීරයක් දිගේ ඇවිදගෙන යනකොට ඉතා විස්මිත දර්ශනයක් ඈත තියලාම දැක්කා හරිම පුදුමයි. රත්තරන් පාට කුඩා කුඩා මාළු දහස් ගණනක් වෙරළට ගසාගෙන ඇවිත්. ඔයාට රත්තරන් මාළු මතක් කරගන්න අමාරු නම් ඔය විසිතුරු මාළු ටැංකිවල ඉන්න ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් හෝ සිල්වර් ෂොප් වගේ විසිතුරු මත්ස්‍යයෙක් මතක් කරගන්න. කොහොම හරි මාළු දහස් ගණනනක් වැලි මත දඟලමින් ජීවිතය බේරගන්න ලොකු සටනක් කරනවා. පෙරදා රාත්‍රියේ මුහුදේ ඇතිවුණු දැවැන්ත කැළඹීම නිසා මේ ආකාරයට මාළු දහස් ගණනක් වෙරළට ගසාගෙන එන්න ඇති කිලා සංචාරකයා හිතුවා. මේ මාළුවන් සියල්ලම බේරාගන්න තමන්ට කළ හැකි දෙයක් ප්‍රායෝගිකව නැති බව හිතුණ නිසා සංචාරකයා එම ශෝකජනක දර්ශනය තවත් බැලන්න බැරිම තැන ආපසු හැරිලා යන්න ගියා.


එහෙම යන්න ගිය ඔහු ඈත සිටින වයස අවුරුදු 13ක විතර ළමයෙක් කරන අපූරු දෙයක් වෙතට තම අවධානය යොමු කළා. මේ ළමයා වෙරළේ රන්වන් පැහැ වැලි මත ජීවිතය ඉල්ලමින් උඩ පනින මාළුවන් එක එකා අරගෙන යළිත් මුහුදට විසි කරනවා. වෙරළට ගසාගෙන ආව මාළු දහස් ගණනකගේ ජීවිතය මෙහෙම බේරීම ප්‍රායෝගික නැති බව සංචරකයා හිතුවා. ඔහු සෙමින් සෙමින් මාළුන්ගේ ජීවිත බේරාගන්න උත්සාහ කරන ළමයා වෙතට ළංවුණා.

"ඔයාට මේමාළු සේරමගේ ජීවිතය ඔය විදිහට බේර ගන්න බැහැනෙ. ඒක නිසා ඔයා කරනදේ තේරුමක් නැහැ කියලා යාට හිතෙන්නේ නැද්ද " සංචාරකයා කිව්වා. මද සිනහවක් පෑව පුංචි ළමයා හරි අපුරු උත්තරයක් දුන්නා.

"මම කරන වැඩෙන් මේ මාළු සේරමගේ ජීවිතය වෙනස් වෙන්නේ නැතිවෙයි. නමුත් මේ මාළුවාගේ ජීවිතේ වෙනස් වෙනවා." ඔහු එහෙම පවසමින් අතට ගත්ත මාළුවා සංචාරකයාට පෙන්නලා ඈත මුහුදට විසිකළා.

ඔහු පැවසූ දෙය හරියටම හරි කියලා තේරුම් ගත්ත සංචාරකයාද එක මාළුවකුගේ හරි ජීවිතය වෙනස් කරන්න හිතාගෙන පුංචි ළමයාත් සමඟ එකතු වෙලා රන්වන් පැහැති මාළු හරි හරියට මුහුදට විසි කළා. ඔවුන් දෙදෙනා පැයක් දෙකක් යන තුරුම එහෙම වැල්ලේ පණ අදින මාළු විසිකළා. එහෙත් තවත් මාළු දහස් ගණනක් වෙරළ මත මිය යමින් සිටියා. නමුත් ඔවුන් දෙදෙනා මාළු සුළු සංඛ්‍යාවකගේ හෝ ජීවිතය වෙනස් කළා.

සමහරු සමහර දේවල් ගැන මහා ලොකුවට හිතනවා. රට දැය වෙනුවෙන් සැබෑවටම හඬ නඟන දේශපාලනඥයන්ට සමහර මිනිසුන් ප්‍රායෝගික නැති චරිත කියලා බනිනවා. නමුත් අපි කරන පුංචි දෙයක් නිසා සමහර වෙලාවට බහුතරයකගේ ජීවිත වෙනස් නොවුණත් සුළු පිරිසකගේ හෝ ජීවිත වෙනස් වෙන්න පුළුවන්. අර මුහුදට ගසාගෙන ආව මාළු දහස් ගණන අතරෙන් මුහුදට යළිත් විසිකළ මාළුවන් කිහිප දෙනාගේ ජීවිත කොයිතරම් දුරකට වෙනස් වෙන්න ඇතිද කියලා ටිකක් හිතන්න. ඔවුන් අහම්බෙන් හරි මුහුදට විසි නොකළා නම් උන්ට අත්වෙන ඉරණම ශෝචනීයයි. අන්න ඒ වගේම ඔබ කරන යහපත් දේවල් දිහා බලාගෙන ඉන්න සමහරු "තේරුමක් නැති දේවල් කරන්න එපා. උඹට පුළුවන්ද ලෝකේ වෙනස් කරන්න" කියලා අහන්න පුළුවන්. නමුත් ඒවාට කවදාවත් සැලෙන්න එපා. ඔබගේ ක්‍රියාවෙන් සහ වචනයෙන් ලෝකයම වෙනස් නොවුණත් මේ ලෝකයේ එක කෙනෙක් හරි වෙනස් වෙයි. එම සුළු වෙනස ජීවිත කාලයම ඔබට සතුටු වෙන්න හොඳටම ප්‍රමාණවත්.

මම පෞද්ගලිකව Face book, Twitter, Gmail, Yahoo, Youtube කියන නවීන අන්තර්ජාල පහසුකම් නිතරම් භාවිත කරනවා. ඒ වගේම මම සේවය කරන ආයතනයේ සාර්ථකත්වයටත් ඒවා හිතරම යොදාගන්නවා. නමුත් සයිබර් මෙවලම් වේගයෙන් වර්ධනය වන මේ කාලයේදී ශ්‍රී ලාංකික තරුණ පරපුර යළිත් පොත් කියවීමට හුරු කරන්නත් අපි කටයුතු කරනවා. සයිබර් අවකාශය සමඟ ඉන්න ඇල්ෆා පරම්පරාව (Generation Alfa and Generetion Y) තරුණ පරපුර යළිත් නවකතාවට සහ කවියට හුරු කිරීම ප්‍රායෝගික දෙයක් නෙවෙයි කියලා සමහරු අපට කියනවා. නමුත් මතුයම් දවසක 90%ක් දෙනා නව කතාව, කවිය සමස්තයක් ලෙසට අමතක කළත් තවත් 10%ක් දෙනා එය අමතක නොකරන්න පුළුවන්. එම 10% අපට වැදගත් අපි ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්න කටයුතු කළ යුතුයි. එවිට ඔවුන් තවත් බොහෝ දෙනකුගේ ජීවිත වෙනස් කරයි.

සමහර ලේඛකයෝ, ගායකයෝ, නළුවෝ බහුතරය කැමැති වුණත් රසවින්දනයෙන් සහ කලාත්මක බවින් අඩු නිර්මාණ කරන්නේ නැහැ. ඔවුන්ටත් බහුතරය පිළිගත් රැල්ලේ නිර්මාණ කරන්න පහසුවෙන් කරන්න පුළුවන්. නමුත් බහුතරයට හුදු ආතල් එකක් දෙනවාට වඩා මිනිස් ජීවිත ස්වල්පයක හෝ සැබෑවද වෙනසක් ඇති කිරීමට ඔවුන් උත්සාහ ගන්නවා. ලියනාඩෝ ඩිකැප්රියෝ අතිශය ජනප්‍රිය තරුවක් වුණත් ඔහු සම්බන්ධ වෙන්නේ මිනිස් ජීවිතයේ හරස් කඩක් පෙන්වන විශිෂ්ට නිර්මාණවලට පමණයි. එම නිසාම තමයි අමිතාබ් බච්චන් පවා විශ්වයේ දැනට සිටින විශිෂ්ටතම නළුවා වශයෙන් ලියනාඩෝ ඩිකැප්රියෝ හඳුන්වන්නෙත්. අන්න ඒ වගේ තම ජීවිතයත් වෙනස් කරගන්න ගමන් තවත් ජීවිත කිහිපයක් හෝ මැරෙන්න කලින් යහපත් ආකාරයට වෙනස් කරන්න පොඩ්ඩක් උත්සාහයක් ගනිමු.

0 Comments:

Post a Comment