Sunday, 23 July 2023

ඔබේ වීදුරුවේ භාගයක් පිරිලද භාගයක් හිස්ද

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

ජීවිතය කියන ගඟ ගලාගෙන යන්නේ සරල රේඛාවක් දිගේ නෙවෙයි. එම ගඟ ඔස්සේ සතුටු දිය සමඟ ප්‍රශ්න, කම්කටොලු ගොඩක් මුසුවෙලා එනවා. සතුට වගේම දුකත් ජිවිතයෙන් සහමුලින්ම මකා දමන්න ලෙහෙසි නැහැ. අන්න ඒ නිසාදෝ සමහර සරල අතීත සිදුවීම් වර්තමානයේදී පවා සිත රිදෙන්නම පාරනවා. රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා.. සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා.. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.. කියලා අමරසිරි පීරිස් මහතා ගායනා කරන්නේද අතීත මඟ හැරුණු ප්‍රේමය සිතින් දරාගෙන හදවතින් සුසුම් හෙළන තරුණයෙක් ගැන කතාවක්. කෙසේ වෙතත් ආතතිය (Stress) සහ විශාදය (Depression) කියන මානසික රෝගී තත්ත්වය වත්මන් මිනිස් පරම්පරාව තුළ දකින්න ලැබෙන බහුල මානසික රෝගී තත්ත්වයන් දෙකක් කියන්න පුළුවන්.

අද කාලයේදී මුදල් ඉතාම වැදගත් සාධකයක් බවට පත්වී තියෙන නිසා හැමදෙනාම මුදල් හොයාගන්න පුළුවන් ක්‍රම සහ විධි නිතරම හොයනවා. මුදල් පසුපස හඹායන අතරේ ජීවිතය තුළ තවත් ප්‍රශ්න රැසක් හතු පිපෙනවා වගේ ජනිත වෙනවා. මෙහෙම පැනනගින සමහර ප්‍රශ්න ජීවිතය පුරාම මහා බරක් වෙන්නේ එම ප්‍රශ්න ඒ තරම් සංකීර්ණ නිසාද? නැත්නම් එම ප්‍රශ්න වලට අපි ජීවිතය තුළ අනවශ්‍ය ඉඩක් සහ තැනක් දෙන නිසාද? ඒ ගැන දැනගන්න පුංචි කතාවක් වෙතට අවධානය යොමු කරමු.

දවසක් සරසවියක කථිකාචාර්යවරියක් තම දේශනය පවත්වන්න දේශන ශාලාවට ඇතුළු වුණා. විභාගය ළංවෙන කොට ළමයි බහුතරයක් පරවුණ මල් බවට පත් වෙනවා. ඔවුන්ගේ මුහුණේ තියෙන සතුට වියැකී ගිහින් මනසේ තියෙන අසහනය ඇස්වලින් පෙනෙන්න පටන් ගන්නවා. බොහෝ ළමයි විභාගය, ආදරය, විරහව, මුදල්, අරගල වගේ නොයෙක් නොයෙක් ප්‍රශ්න නිසා ආතතියෙන් පෙළෙන බව ඇයට දැනුණා. ඇය කරන්න සිතාගෙන ආව දේශනය පස්සේ දවසක කරන්න හිතලා ළමයි සමඟ නිදහසේ කතා කරන්න හිතුවා. ඇය මේසය මත බීමට තියලා තිබුණ වතුර වීදුරුව භාගෙට පිරෙව්වා. ඊට පස්සේ භාගෙට පිරුණ චතුර වීදුරුව ළමයින්ට උස්සලා පෙන්නුවා. කථිකාචාර්යවරිය වීදුරුව භාගයක් පිරිල ද නැත්නම් භාගයක් හිස් ද කියන සාම්ප්‍රදායික ධනාත්මක චින්තන සංකල්පය පැහැදිලි කරත්ත සූදානම් බව ළමයි හිතුවා. නමුත් ඇය ඉදිරිපත් කළේ ඊට හාස්පසින්ම වෙනස් අදහසක්.

'ඔයා පොඩ්ඩක් මෙතැනට එන්න' ඇය දිගු කල්පනාවක ඉන්න ශිෂ්‍යයකුට කිව්වා. ඊට පස්සේ ඇය භාගෙට පිරුණ වතුර වීදුරුව දකුණු අත ඉදිරියට දිගු කරලා ඇඟිලි දෙකකින් අල්ලාගෙන ඉන්න කිව්වා. ශිෂ්‍යයාද ඇය කියන ආකාරයට කටයුතු කළා.



'ඔයාගේ අත රිදෙනවද? ' කථිකාචාර්යවරිය ඇහුවා.

'කොහෙත්ම නැහැ' ශිෂ්‍යයා කිව්වා.

'ඇයි ඔයා එහෙම කියන්නේ? '

'මේක භාගෙට වතුර පිරුණ පුංචි වීදුරුවක්. ඒක නිසා පොඩ්ඩක්වත් බර නැහැ. ශිෂ්‍යයා කිව්වා. ශිෂ්‍යයාට එහෙමම ටික වේලාවක් ඉන්න කියලා කථිකාචාර්යවරිය අනික් ශිෂ්‍යයන්ට ආතතිය කියන කාරණය ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න පටන් ගත්තා. ඔන්න ඔහොම විනාඩි 10ක් විතර කථිකාචාර්යවරිය කතා කර කර හිටියා.

'ඔයාගේ අත රිදෙනවද?' කථිකාචාර්යවරිය යළිත් අර ශිෂ්‍යාගෙන් ඇහුවා.

'දැන් නම් ටිකක් රිදෙනවා. එහෙත් අල්ලාගෙන ඉන්න පුළුවන් ' ශිෂ්‍යයා කිව්වා.

ශිෂ්‍යයාගේ එම ප්‍රතිචාරයත් සමඟ කථිකාචාර්යවරිය යළිත් සරසවි සිසුවියන්ට පැහැදිලි කිරීම කරගෙන ගියා. එහෙම ටික වෙලාවකට පස්සේ ඇය වීදුරුව අල්ලාගෙන ඉන්න ශිෂ්‍යයාගේ අත රිදෙනවද කියලා ඇහුවා.

'ඔව් මිස්. දැන්නම් අත ගොඩක් රිදෙනවා' ශිෂ්‍යයා ඉතා අමාරුවෙන් කිව්වා. ඊට පසුව වීදුරුව ශිෂ්‍යාගේ අතින් අරගෙන කතා කරන්න පටන් ගත්තා.

ජීවිතයේ බොහෝ ප්‍රශ්න මෙන්න මේ හාගෙට පිරුණ වීදුරුව වගෙයි. ඒ තරම් බරක් නැහැ. නමුත් මේ බර නැති වීදුරුව වුණත් විනාඩි පහක් අතේ තියාගෙන හිටියම අත රිදෙන්න පටන් ගන්නවා. ඒ වගේම විනාඩි 30ක් අල්ලාගෙන හිටියොත් තවත් අත රිදෙනවා. දවසක් අල්ලාගෙන හිටියොත් අත තවත් ගොඩක් රිදෙන්න පටන්ගන්නවා. අන්න ඒ නිසා පුංචි පුංචි ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එපා. එතකොට ඒවා දරා ගෙන ඉන්න හිතට වගේම හදවතටත් රිදුම් දෙනවා. මානසික ආතතිය සහ විශාදය වගේ රෝගී තත්ත්වයන් ගොඩක් ඇති වෙන්නේ ඔන්න ඔය වගේ පුංචි පුංචි ප්‍රශ්න හිතේ දරාගෙන හිටියම. ප්‍රශ්න ගොඩක් කාලයක් හිතෙන් අල්ලාගෙන ඉන්න එපා. ඒවා ඉක්මනින් විසඳා ගන්න නැත්තම් අමතක කරන්න. ජීවිතය දිහා සරලව බලන්න. ඇය සියලු දෙනාටම එහෙම පැහැදිලි කළා.

0 Comments:

Post a Comment