ඔබ සත්‍ය පවසනවා නම්
කිසිවක් මතක තබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා වරක් මාර්ක් ට්වේන් පැවැසුවා. ඒ
සරල වැකිය පැහැදිලිවම ඇත්ත ගැන ගැඹුරු සත්‍යයක් පෙන්වනවා. මන්ද යත් අපි ඇත්ත
කියනවා නම්,
එය තහවුරු කරන්න බොරු හේතු දහසක් පවසන්නත් ඒ බොරු හේතු අමාරුවෙන්
මතක තියා ගන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ. සත්‍යය සහ මිථ්‍යාව අතර පරතරය සමහර වෙලාවට
නූලක තරමේ පුංචි දුරක් වෙන්න පුළුවන්. නමුත් මිථ්‍යාවේ ඉඳලා සත්‍යය වෙත ගමන් කරන්න
සමහර මිනිසුන්ට ජිවිත කාලයත් මදි. ඒ වගේම සත්‍ය ලේ ගංගාවක ගිල්ලාවත් සඟවන්න බැහැ
කියලා සදාතනික සත්‍යක්ද තියෙනවා කියලා පිළිගන්න වෙනවා. මිනිස්සු මිථ්‍යාව කියන
කළුවර කුටියේ ඉදගෙන සත්‍ය නම් ආලෝකය දකින්න වෙහෙසෙනවා. නමුත් ඔවුන් මිථ්‍යාව නම්
කළුවර කුටියෙන් පිටතට එනතුරු ඔවුන්ට සත්‍යය දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම මිථ්‍යාවට
මුළා වුණ මිනිස්සු අද වගේම අතීතයෙන් ඕනෑ තරම් ඉඳලා තියෙනවා.
අහසේ ඈත දිලෙන තරුවලට
හදවතින් වගේම මොළයෙන්ද ආදරය කළ නිකොලස් කොපර්නිකර්ස් කියන්නේ ලොව එතෙක් මෙතෙක්
බිහිවුණු විශිෂ්ටතම තාරකා විද්‍යාඥයෙක්. 1473 සිට 1543 දක්වා කාල සීමාව තුළ කාලයේ පෝලන්තයේ ජීවත් වුණ මෙම විශිෂ්ට මිනිසා
ලෝකය උඩු යටිකුරු කරන සත්‍ය රැසක් බය නැතුව හෙළි කළා. "අපි දන්නේ නැති දේවල්
වල තියෙන දන්නේ නැති දේවල් දැන ගැනීම තමයි සැබෑ දැනුම" කියලා ඔහු නිතර
පැවැසුවා. එම නිසාම පෙනෙන දේවල තියෙන නොපෙනෙන දේ සෙවීම ඔහුගේ සැබෑම ජීවන උත්සාහය වුණා.
එම නිසා ඔහු ඉදිරිපත් කළ 'කොපර්නියන් සිද්ධාන්තය' මඟින් ලොව හොල්ලන මතවාදයක් කරළියට ගෙන එන්න ඔහු සමත් වුණා.
මුළු විශ්වයේ හරි මැද
අපි ජිවත් වෙන මෙම පෘථිවිය පිහිටලා තියෙන බව ඉස්සර, ඒ කියන්නේ අපේ ආදිතම
මුතුන් මිත්තෝ විශ්වාස කළා. ඒ වගේම ඉර ඇතුළු අනෙක් සියලුම ග්‍රහ වස්තු පෘථිවිය වටා
කැරකෙනවා කියලා ඒ අය දැඩිව විශ්වාස කළා. දේව සංකල්පය පදනම් කරගත්ත බොහෝ ප්‍රමුඛ
ආගම් වල පූජකවරුන්ද එය එහෙමමයි කියලා දිගින් දිගටම දේශනා කළා. නමුත් එක මිනිසෙක්
පමණක් ''නැහැ ඒක එහෙම නෙවෙයි''
කියලා තරයේ විශ්වාස කරලා ඒ ගැන දිගින් දිගටම සොයන්න පටන් ගත්තා. ඔහු නිකොලස්
කොපර්නිකර්ස්. ජීවිතය අංශක 180කින් වෙනස් කරන අපේ පුංචි
කතාවේ වීරයා තමයි ඔහු.
රාත්‍රි අහස ගණිතමය
ආකාරයට තේරුම් ගත්ත ඔහුගේ විද්‍යාත්මක සෙවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඔහු පෘථිවිය
විශ්වයේ මධ්‍ය ලක්ෂ්‍යය නොවන බවත්, එය ඉර වටා කැරකෙන්නේ නැති
බවත්, ඉර වටා පෘථිවිය ගමන් කරනවා කියලත් සොයාගත්තා. එසේම
තවදුරටත් තවත් ග්‍රහලෝක කිහිපයක් ඉර වටා කැරකෙනවා කියලත් ඔහු පැවැසුවා. දැඩි දේව
විශ්වාසයක් සහ ආගමික බලපෑමක් තිබුණු කාලයක එවැනි මතයක් ඉදිරිපත් වීම ගැන විරෝධතා
රැසක් නිකොලස් කොපර්නිකර්ස්ට එරෙහිව එල්ල වුණා. නමුත් ඒ තර්ජනවලට බයේ ඔහු ඔහුගේ
මතය අබමල් රේණුවකින්වත් වෙනස් කරගත්තේ නැහැ. සාමාන්‍යයෙන් අදටත් සමාජයේ මිථ්‍යාවට
එරෙහි උද්ඝෝෂණ වලට වඩා සත්‍යයට එරෙහි උද්ඝෝෂණ වැඩි බව මනාව පෙනෙනවා. නිකොලස්
කොපර්නිකර්ස්ට එරෙහි තර්ජන එන එන්නම වැඩි වුණා. පෘථිවිය විශ්වයේ මධ්‍ය ලක්ෂ්‍යය
බවත්, එය වටා ඉර ගමන් කරන බවත් පිළිගෙන එය ප්‍රසිද්ධියේ
කියන්න කියලා පිරිසක් ඔහුට දැඩිව තර්ජනය කළා. ඔවුන්ගේ දැඩි තර්ජනයෙන් බේරෙන්න
බැරිම තැන ඊට පිළිතුර වශයෙන් නිකොලස් කොපර්නිකරිස් නිර්මාණශීලීව ප්‍රබල උත්තරයක්
දුන්නා.
“ඔයගොල්ලෝ
කියන නිසා පෘථිවිය වටා ඉර ගමන් කරනවා කියලා මම කියන්නම්. නමුත් ඇත්තටම ඉර වටා
පෘථිවිය ගමන් කරන එක නම් මට නවත්තන්න බෑ."
ඔහුගේ එම විශිෂ්ට
කියමන නැවත නැවත හැදෑරිය යුතුයි. මන්ද යත් බොහෝ දෙනා පිළිගන්න නිසා සමහරු සමහර
අසත්‍ය දේවල් පිළිගත්තත්, ඇත්තටම ඒවා සත්‍යය නෙවෙයි. ඒ වගේම සමහරු
දේශපාලන බලය, ධන බලය සහ ජන මාධ්‍ය බලය යොදාගෙන සමහර අසත්‍ය
ජනතාවට සත්‍ය වශයෙන් පිළිගන්න කියලා දිගිත් දිගට අණ කරනවා. නමුත් අසත්‍ය සහ මිථ්‍යාව
අසත්‍යයක්ම මිසක්, කවදාවත් සත්‍යයක් වෙන්නේ නැහැ. ඒක
හරියට පෘථිවිය වටා ඉර ගමන් කරනවා කියලා කිව්වට ඇත්තටම ඉර වටා පෘථිවිය ගමන් කරන එක
නම් මට නවත්වන්න බැහැ කියලා කොපර්නිකර්ස් කිව්ව කතාවට සමානයි. "සත්‍යය පවසා
මා හැඬවීම බොරු පවසා මා සනසනවාට වඩා අගනේය" කියලා කතාවටත් කියන්නේ අන්න ඒ
නිසයි. එම නිසා අමාරුවෙන් හරි සත්‍යය වැලඳගනිමු.







0 Comments:
Post a Comment