කැලුම් වැලිගම - kelumweligama@gmail.com
සොක්‍රටීස්
කියන්නේ මෙලොව ජීවත් වුණ සුවිශේෂතම මිනිසෙක්. බුද්ධිමත් බව සහ සත්ගුණවත් බව කියන
සාධක දෙකම මිනිසකු තුළ තිබිය යුතුයි කියන සාධකයේ සිට ලොවට දැවැන්ත දැනුමක් ලබා
දුන්න සුවිශේෂ බුද්ධිමතෙක්. අරුමේ කිම වදවෙන හිරු සදිසි මිනිස්සු ලෙස අර ගීතයකත්
සඳහන් වෙනවා වගේම සොක්‍රටීස්ද ඝාතනය කරලා මරා දමනවා. තරුණයන් නොමඟ යවනසුලු දැනුම
බෙදා දෙනවා කියන මූලික වරදට අනුව කැලෑ නීතිය අනුව වරදකරුවෙක් බවට පත්කර හැම්ලොක්
නම් වස වර්ගය පානය කරන්න සැලැස්සවීමෙන් ඔහු මරණයට පත්කරනවා.
"ඔබට හොඳ බිරියක් ලැබුණොත් ඔබ සතුටු වෙයි. එහෙත් ඔබට වදක බිරියක්
ලැබුණොත් ඔබ දර්ශනිකයෙක් වෙයි" කියන වදන කිව්වෙත්
සොක්‍රටීස් තමයි. මරණ මංචකයේ දී පවා සිත සතුටින් මිනිස් ජීවිතය තුළ ලැබෙන හොඳම
ආශීර්වාදය මරණය බව ඔහු පැවසුවා. සොක්‍රටීස් එකල ග්‍රීසියේ ජීවත් වුණ අතිවිශිෂ්ටම
බුද්ධිමතා නිසා ඔහුගේ ශිෂ්‍යයෙක් වීම ලෙහෙසි නැහැ. එම නිසා ඔහු යටතේ ඉගෙන ගන්න
කෙනෙක් ඇතුළු කර ගන්නේ කිසියම් පරීක්ෂණයකින් පස්සේ දැන් කාලේ වගේ කටපාඩම්
පරීක්ෂණවලින් නොවෙයි ඔහු ශිෂ්‍යයන් තෝරාගත්තේ. ඒවා හදිසි ප්‍රායෝගික පරීක්ෂණ වුණා.
දවසක් සොක්‍රටීස් ශිෂ්‍යයන් කිහිප දෙනෙකු ප්‍රායෝගික පරීක්ෂණයට ලක් කළා. ඔහු මේ
නවකයන්ට කරන්න කිව්වේ ඉතාම සරල දෙයක්.
"අර පොකුණ දිහා බලාගෙන ඉඳලා ඔබට පෙනෙන දේ මට රහසින් කියන්න. ඒ වගේම ඔබට පෙනෙන දේ ඔබ අනෙකාට නොකියන්න. " ඔහු ශිෂ්‍යයන්ට කිව්වා.
ඉතිං එක් එක්
ශිෂ්‍යයා පොකුණ දෙස ඉතා වුවමනාවෙන් බලාගෙන ඉඳලා ඔවුන් දුටු දේ සොක්‍රටීස්ට රහසින්
කිව්වා. සොක්‍රටීස්ගේ මෙම පරීක්ෂණය දිහා ඔහුගේ පරණ ගෝලයෙක් බලාගෙන හිටියා. එහෙත්
ඔහුට මොකුත් තේරුණේ නැහැ.
"ඔබතුමා කොහොමද ශිෂ්‍යයන් තෝරාගත්තේ" පැරැණි ගෝලයා රහසින් වගේ
ළංවෙලා ඇහුවා.
"විල දිහා බලලා එහි මාළුවන් දැක්කා කියලා කිව්ව අය මම තෝරාගත්තා. සොක්‍රටීස්
කිවා.
"එතකොට ඔබ තෝරා නොගත්තේ කවුද? "
"විල දිහා බලලා තමාගේ රූපය දැක්කා කිව්ව අය මම තෝරාගත්තේ නැහැ. සොක්‍රටීස්
සන්සුන්ව කිව්වා.
"ඇයි" ඔහු පුදුම වෙලා ඇහුවා.
"තමාගේ රූපයට සහ මමත්වයට අසීමිතව ආදරය කරන ශිෂ්‍යයන්ගෙන් මට වැඩක් නැහැ.
ඔවුන් ආත්මාර්ථකාමීයි. එසේම ඔවුන් ජීවිතය තුළ කිසිම නව අත්දැකීමක් ලබන්න පෙලඹෙන්නේ
නැහැ. සොක්‍රටීස් කිව්වා.
තමාගේ රූපයට
ඕනෑම කෙනෙක් කිසියම් තරමක් දුරට ආදරය කළ යුතුයි. එහෙත් තම රූපයට අසීමිතව ආදරය
කිරීම සහ ආශා කිරීම ස්වරූපරාගය (Narcissism) ලෙස හඳුන්වනවා.
ස්වරූපරාගය යනු තම රූපයට තමා අසීමිතව දක්වන කැමැත්තයි. (Excessive interest in or admiration of oneself and one's physical appearance)
තම රූපයට
ඕනෑම මනුෂ්‍යයෙක් කැමැත්තක් සහ ආශාවක් දැක්විය යුතු අතර එසේ නොවුණහොත් ඔහුගේ හෝ
ඇයගේ පැවැත්මට එය ඉතාම හානිදායකයි. එහෙත් කිසියම් කෙනෙක් ඕනෑවට වඩා තමාගේ රූපයට
කැමැත්තක් සහ අසීමිත රාගයක් දක්වන්නේ නම් එය මනසේ අඳුරු ස්වරූපයක් බව මනෝ
විශ්ලේෂකයන් පවසනවා. තමාගේ රූපය දිහා බොහෝ වෙලාවක් බලාගෙන සිටීම. තමා අතිශයින්ම රූමත්
යැයි හෝ කඩවසම් යැයි සිතීම. තමා බොහොම අභිමානවත් පුද්ගලයෙක් යැයි නිතර සිතීම මෙහි
ලක්ෂණ වශයෙන් දක්වන්න පුළුවන්. වත්මනේදී වැඩි වැඩියෙන් තමාගේ පින්තූරය තමාම රැගෙන
රස විඳීම ස්වරූපරාගය පිළිබිඹු වෙන තවත් ප්‍රමුඛ ගු ලක්ෂණයක්. තමාගේ පින්තූරය තමාම
ගැනීමේ සෙල්ෆි ඡායාරූප මෙලෙස ජනප්‍රිය වුණේ මිනිසුන් දිනෙන් දින ස්වරූපරාගයට තව
තවත් ඇබ්බැහි කරමින්. පැයකට වැඩි සෙල්ෆි ඡායාරූප ප්‍රමාණයක් ගන්නේ නම් එය
පැහැදිලිවම් ස්වරූපරාගය බව මනෝවිද්‍යාඥයන් දැනටමත් තහවුරු කර අවසන්. ස්වරූපරාගය
පිළිබඳ සංකල්පය මුලින්ම කරළියට ගෙනාවේ සිග්මන් ප්‍රොයිඩ් වන අතර එය සැබැවින්ම
මානසික විකෘතිතාවක් බව ප්‍රොයිඩ් පවසනවා.
ස්වරූපරාගයෙන්
පෙළෙන පුද්ගලයින්ට ජීවිතයේ බොහෝ රසමුසු තැන් ගවේෂණය කරන්න ලැබෙන්නේ නැහැ. මන්දයත්
ඔවුන් මමත්වය නම් අදුරු සළුවෙන් වැසිලා ඉන්නේ. එම නිසා සොක්‍රටීස් පවා එම වර්ගයේ
ශිෂ්‍යයන් ප්‍රතික්ෂේප කළා.







0 Comments:
Post a Comment