කැලුම් වැලිගම - kelumweligama@gmail.com
නායකත්වය
කියන්නේ මේ ලෝකයේ තියෙන හරි අපූරු තනතුරක්. මොකද ගොඩක් දෙනෙක්ට බලය ලැබෙන්නේ
තනතුරෙන්. නමුත් නායකයාට බලය ලැබෙන්නේ තනතුරෙන් නෙවෙයි. ඒ වගේම නායකත්වය කියන
තනතුරද බන්දේසියක තියලා කාටහරි ලැබෙන තනතුරකුත් නෙවෙයි. නායකයාට බලය ලැබෙත්තේ
ඔහුගේ හෝ ඇයගේ නායකත්ව ශෛලියෙන්. ඒ කියන්නේ කරන කියන වැඩවලින්. ඒ වගේම නායකයා සහ
පාලකයා අතර පරතරයද අහසට පොළොව තරම් කියලා කිව්වොත් හරියටම හරි. මොකද නායකයා
කියන්නේ පාලකයාටත්, පරිපාලකයාටත්, කළමනාකරුවාටත්
එහා ගිය විශිෂ්ට මනුෂ්‍යයෙක්. එම නිසාම තමයි ඕනෑම සත්ත්ව වර්ගයක් තුළ නායකයන් ඉතාම
ස්වල්ප ප්‍රමාණයක් ජීවත් වෙන්නේ. මම කියන මේ කතාව සත්‍ය කතාවක්. නමුත් සිද්ධියේ
නම් ගම් අමතක කරලා අපි ඒ කතාව තුළ තියෙන නොකී කතාව තේරුම් ගනිමු.
එක්තරා දරුණු පාලකයෙක් රටක් පාලනය කළා. ඔහුගේ එකම අරමුණ වුණේ තව තවත් රටවල් ආක්‍රමණය කරලා යටත් කර ගැනීම. ඔහුට ඉන් එහා අරමුණක් තිබුණේ නැහැ. එම නිසාම ඔහු ජනතාවගේ සුබ සිද්ධිය ගැන හිතුවේ නැහැ. අලුත් රටවල් අල්ලා ගත්තත් ඔහුගේ මව් රටේ ජනතාව සෑහෙන්න දුක් වින්දා යුද්ධය වෙනුවෙන් විශාල වියදමක් දරන්න සිද්ධ වුණ නිසා. රටේ සම්පත් සියල්ලම යුද්ධය වෙනුවෙන් කැප කළා. රටේ තරුණ ජීවිත අකාලයේ අබ්බගාතයන් වුණා. තරුණියන් වැන්දඹුවන් වුණා. මවුපියන් ශෝකයෙන් කාලය ගත කළා.
මෙම දරුණු
පාලකයාගේ ක්‍රියා කලාපය ඉවසන්න බැරි ඔහුගේම හමුදාවේ ඉහළම නිලධාරීන් පිරිසක් මෙම
දරුණු පාලකයා රහසිගත සැලැසුමක් ඔස්සේ ඝාතනය කරන්න හිතුවා. මෙම පාලකයා ලෝකයෙන් ඉවත්
කරලා රටට සාමය සහ සතුට ගෙනත් දෙන මෙහෙයුමේ නායකත්වය ගත්තේද මෙම පාලකයාට ඉතා සමීප
හමුදා නිලධාරියෙක්. අපි ඔහුට මේජර් X කියලා කියමුකෝ. මෙම නායකයාට
සහාය දෙන්න නවක කනිටු සෙබළෙක් නොබියව ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වුණා. අපි ඔහුට
කෝප්‍රල් Y කියලා කියමු. කනිටු සෙබළාට පාලකයාට එරෙහිව
නැඟී සිටින මෙම X කියන නායකයා පෙනුණේ නිර්භීත වීරයෙක්
විදියට. කුරිරු පාලකයා ඝාතනය කිරීමේ සැලසුමට මෙම නායකයාට උදවු කරන්න අනුගාමිකයන්
රැසක් රහසිගතව එකතු වුණා. සැලැසුමට අනුව පාලකයාගේ මෝටර් රථය තුළ කාල බෝම්බයක්
රඳවලා එය පුපුරුවා හැරීම තුළින් ඔහුව මරන්න සියලු සැලැසුම් රැයවල් පහන් කරමින්
දවස් ගාණක් පුරා ඔවුන් හැදුවා. මෝටර් රථය තුළ බෝම්බය සවි කිරීමේ භාරදූර වගකීම තවත්
කාටවත් පවරන්නේ නැතිව එය ඉටු කරන්න X කියන නායකයා
ඉදිරිපත් වුණා. ඒ වගේම ඔහුට සහාය දෙන්න Y කියන කනිටු
සෙබළා ද ඉදිරිපත් වුණා.
සැලැසුම් කළ
පරිදි ඔවුන් බෝම්බය ඇටෙව්වා. බෝම්බය සහිත මෝටර් රථයෙන් පාලකයාද එදා උදෑසනම පිටත්
වුණා. විනාඩි දහයක් ඇතුළත පිපිරෙන්න සැලැසුම් කළ බෝම්බය විනාඩි දහයක් නිමා වෙද්දිම
පිපිරුණා. නමුත් කුරිරු පාලකයා මිය ගියේ නැහැ. ඔහුට එවැනි බෝම්බයක් මෝටර් රථයේ සවි
කරලා තියෙන බව ඝාතන සැලැසුමටම සම්බන්ධව හිටිය නිවට නිලධාරියකු අවසාන මොහොතේදී
දන්වලා තියෙනවා. එම නිසා පාලකයා බෝම්බය පිපිරෙන්න ඔන්න මෙන්න තියෙන මොහොතේදි
රථයෙන් පිටතට පැනලා ජීවිතය බේරා ගත්තා. අදාළ සිද්ධියෙන් පස්සේ ඝාතන සැලැසුමට
සම්බන්ධ සියලු දෙනාම වෙඩි තබා ඝාතනය කරන්න පාලකයා තීරණය කළා. ඊට දින කිහිපයකට
පස්සේ වරදරකරුවන් සියලු දෙනාම එක පෙළට තියලා ඝාතනය කර පසුව අවසානයට ඉතිරි වුණේ
පාලකයා ඝාතන සැලැසුමේ මහ මොළකාරයා වන නායකයා සහ නායකයාට වඩාත් සමීපව වැඩ කරපු
කනිටු සෙබළා.
ඒ
දෙන්නාගෙන් මුලින්ම වෙඩි තබා ඝාතනය කරන්න නියම වෙලා තිබුණේ හමුදා නායකයා. ඔහු වැලි
ගොඩ ළගට කිසිදු බියක් නැතිව ආත්ම අභිමානයෙන් පිය නැංගා. මොකද ඔහුගේ හෘද සාක්ෂිය
දන්නවා ඔහු වැඩකටයුතු කළේ නිවැරැදි දැක්මකට අනුව කියලා. වෙඩි තැබීමට අණ දෙන හමුදා
නිලධාරියා අවසාන අණ නිකුත් කරන විටම Y කියන කනිටු හමුදා සෙබළා
නායකයා ඉදිරියට ඇවිත් වෙඩි තබන සෙබළුන්ට පසුපස හරවාගෙන නායකයාගේ මුහුණ බලාගෙන
සීරුවෙන් හිටගත්තා. ඒ මොහොතේම නායකයාට තැබූ වෙඩි සියල්ලම කනිටු සෙබළාට වැදුණා.
"නිවටයන්ගේ මුහුණ බලාගෙන වෙඩි කනවාට වඩා ඔබ වැනි නියම නායකයෙක් ගේ ඇස්
දෙක දිහා බලාගෙන මියයෑම මගේ ආත්මයට මහා ගෞරවයක්"
කනිටු සෙබළාට
වෙඩි වැදිලා මිය යන්න මොහොතකට පෙර නායකයාගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන කිව්වේ ඒ
අමරණීය වාක්‍යය. සැබෑ නායකයාට අනුගාමිකයන් ජයග්‍රහණයේදී වගේම පරාජයේදීත් ආදරය
කරනවා. නමුත් පාලකයා වෙනුවෙන් අනුගාමිකයන් පෙනී ඉන්නේ ජයග්‍රහණයේදී පමණයි.
" මම
නායකයෙක් කියලා ඕනෑම කෙනෙක්ට හිතාගන්න පුළුවන්. එහෙම කියන්න කියලා අනෙත් අයට
කියන්නත් පුළුවන්. නමුත් එහෙම කියන කෙනා සැබෑ නායකයෙක් වෙන්නේ අනෙත් අය " ඔයා
නායකයෙක්" කියලා හදවතින්ම කියනවා නම් විතරයි.







0 Comments:
Post a Comment