Sunday, 23 July 2023

මගේ අරමුණ වෙනස් නොවන්නක්

ගෝතමරත්න ඉන්දුසිරි සුරවීර

"උණ පඳුරේ හෙවණැල්ල තරප්පුව අතුගාගෙන යයි, නමුත් නොසැලේ දූවිලි තට්ටුව"

ජීවිතයේ නැවත නැවතත් දකිනා සිහිනයන් ලුහුබැඳ යමින් ඉරණමද, අත්දැකීම ද, විඳිමින් ඔබද, මම ද ගමනක යෙදී සිටින්නෙමු. ජීවිතයට ජීවිතය හමුවන සෑම විටකම සිතිවිලි පුළුල් කිරීමට සමත් නිර්මාණශීලී නවාතැන් පළක් ආ මග තිබූ බව මතකය. මම ඒ අසිරිමත් අතීතය සිහිපත් කළෙමි. ඉන් ලද ජීවිතයද අස්වැසිල්ලද, සිහිනය සහ ප්‍රාර්ථනාවද, බලාපොරොත්තුව ද, සුරක්ෂිතව හදවතෙහි තැන්පත් කළෙමි. ඔබ හදට සවන් දී බොහෝ කල්ය. එහි වර්ණය, ස්වරූපය මෙන්ම රිද්මයද හැඳින්නෙමි. අතීතයේ හමුවූ, දහසක් නිමිති නිසි ලෙස වටහා ගන්නටද, ප්‍රේමයේ සුන්දරත්වය විඳිමින් මිනිස් සිත්වල අභ්‍යන්තරයට කිඳා බසින්නටද, ඉන් හැකි විණි. තවමත් එහි රිද්මය පෙර පරිදිමය. එබැවින් මම ඔබ සොයමි.

"කාලයත් එක්ක දැන් හුඟක් දේවල් තේරුම් අරන් ඉන්නේ''

කාලය බොහෝ විට කරන්නේ ප්‍රශ්නාර්ථයක් එලෙසම තබාගෙන ඒ සඳහා බලපාන සාධකයන්ගේ වෙනස්කම් කිරීමය. ඉන් සිදුවීම ඉස්මතු වීමක් හෝ යටපත් වීමක් සිදුවේ. කාලය, ගැටලු සහ ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් සොයා දෙනවා සේම අර්බුදයක් වුවද නිර්මාණය කළ හැකිය. ඔබ කාලය පිළිබඳ විශ්වාසය තබන්නේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට නම් ඒ සඳහා ඔබ සූදානම් කරගත යුත්තේ පිළිතුරුය. පිළිතුරු තීරණාත්මක මෙන්ම සෘජුය, ඉක්මන්ය. එහෙත් ඔබ කාලය පිළිබඳ විශ්වාසය තබන්නේ ගැටලුවක් නිරාකරණය කර ගැනීමට නම් ඔබ ගෙවන කාලය තුළ සෙවිය යුත්තේ විසඳුම්ය. විසඳුම් දිර්ඝකාලීනය. ඒ සඳහා විසල් කැප කිරීම් සහ අවබෝධය අත්‍යවශ්‍යය, සියල්ලටම වඩා විය යුත්තේ ඔබ මුහුණ දෙන්නේ ගැටලුවක්ද, ප්‍රශ්නයද යන්න හරිහැටි අවබෝධ කරගැනීමය. නොඑසේ නම් කාලය ඔබව රවටනු ඇත.


බණ්ඩාර කේ. විජේතුංගයන් ඇරැඹුමේ පද පෙළ නම් කර තිබුණේ "ගතවන කාලය සහ නොමියෙන් දුක" යනුවෙනි. නෙත් දහස කාව්‍ය සංග්‍රහයේ සිංහල හයිකු සම්ප්‍රදායේ ලක්ෂණයන් එහි විද්‍යමාන වේ. ප්‍රේමයට අතිශය ආදරය කළ බණ්ඩාර කාලය සෙවණැල්ල සේ කාල තරණය කරන බව දනවයි. තරප්පු පෙළ ජිවිත යයි. එහි ඇත්තේ නැඟීමක් සහ බැස්මකි. අපේ හදවත් මතින් කී දෙනකුට නගින්නට සහ බසින්නට ඉඩ සලසා ඇතිද?

 කාලය සාක්‍ෂිකරුවන් කැඳවනු ඇත. ඔවුන්ගේ පා දුහුවිල්ලෙන් ලද වේදනාත්මක අත්දැකීම් සියල්ල තැන්පත්ව ඇත්තේ හදවතෙහිය. එහෙත් කාලය හදවතෙහි වේදනාව පිස දමන්නට, අවබෝධ කරගන්නට හැකි කිසිවකු නිර්මාණය කර තිබේද? බණ්ඩාර තම පද පෙළ තුළ සිහිපත් කරයි. සියල්ලන්ම මතුපිට ස්පර්ශයන්ය. සෙවණැල්ලකට කිසිදා දුහුවිලි පිස දැමිය නොහැකිය. ජීවිතයට මුණ ගැසෙන ප්‍රේමයද එලෙසය. කිසිවෙක් ගැඹුරු හදවත් ස්පර්ශ නොකරති.

"ඒ තරම් බරක් තියාගන්න එපා" ලෝකය පරිවර්තනය කිරීමට කලින් තමා පරිවර්තනය වී සිටිය යුතුය. ඒ සඳහා අවශ්‍යම වන්නේ ඉවසීම සහ උනන්දුවය. ඔබ සාර්ථක නම් ඉවසීමෙන් උනන්දුව ඇතිකර ගත හැකිය. ඇතැම් විට ඔබ කාලය එළැඹෙන්නට කලින් ක්‍රියාත්මක වෙයි. නැතහොත් කාලය එළැඹී ඇති විට ලිස්සා යයි. එය මඟ හැරීමට නම් ඔබ සෑම මොහොතක්ම ආපසු නොලැබෙන මොහොතක් සේ සැලකිය යුතුමය. නොඑසේ නම් එසේ සිතන තුරු උසුලාගෙන සිටිය යුතුය.

" සබඳතා කියන්නේ භෞතික දේවල් නෙවෙයි."

මට ගේබ්රියල් ගාර්ෂියා සිහිපත් විණි. ඔහුගේ ජීවිතයෙන් සමුගැනීමට ප්‍රථම අන්තර්ජාලයට මුදාහැර ඇති අවසන් ලිපියේ උපුටා ගැනීමක් දක්වමි. ඔහු එහි දනවන්නේ සෑම දෙයක් පිළිබඳ දැනට වඩා කල්පනාකාරි විය යුතු බවය. තව දුරටත් ඔහු වටිනාකම් සොයා යයි. "සෑම දෙයකම ඇති භෞතික වටිනාකම්වලට වඩා ඒවායේ නෛසර්ගික ගුණාංග හා ඒවා තුළින් ප්‍රකාශ කරන්නා වූ සත්‍යයන් වටහා ගැනීමට මම වැඩි උනන්දුවක් දක්වමි."

ඔබද උනන්දු විය යුතුය. ඕනෑම භාණ්ඩයක්, වස්තුවක්, භෞතික සාධකයක් වුවද එම භාණ්ඩය සංකේතවත් කරන්නේ කුමන කාරණයක් දැයි ඔබ සිතිය යුතුය. එය මහා ගැඹුරු චින්තනයක උද්දීප්තිය විය හැකිය. එය හදවතක හැඟීමේ මතුපිට ප්‍රකාශනය විය හැකිය. එබැවින් භෞතිකයේ වටිනාකම මිල කළ නොහැකිය. හදවතක උපදින ආදරය හදවතෙහි ධනය වග කලීල් ජිබ්රාන් සඳහන් කරයි. එය සංගීත භාණ්ඩයක් වැනිය. එය වාදනය කළ නොහැකි තැනැත්තාට එය සපයා දෙන්නේ අප ස්වරයක් පමණි.

"ධනය ප්‍රේමය බඳුය. අන් අයට නොදී තමා ළඟ ප්‍රේමය රඳවා තබා ගන්නා තැනැත්තා ප්‍රේමය විසින්ම විනාශයට පත් කරවනු ලබයි. එහෙත් ඒ ධනය නිදහසේ ප්‍රදානය කරන්නා වෙත ජීවිතය ලබාදෙයි." එබැවින් මම ඔබ තුළ ජීවිතය සොයමි.

මගේ අරමුණ වෙනස් නොවන්නක් "

ජීවිතය හැමවිටම උරුමව සොයාගෙන යන්නන්ට ත්‍යාගශීලීය. එහෙත් සිදුවීමක් යළි යළිත් වේ නම් එය තනි තනිටුවෙන් පියාඹීමකි. ඔබ හදවත ප්‍රේමය ඒකපාර්ශ්වීය වුවහොත් ජීවිතය සහ එයට මුහුණ දීමේ දිරිය සහ බලය බිඳ වැටෙනු ඇත. ඔබ දිගු කලක් නිරීක්ෂණය කරන්නේ එබැවිනි. ඔබ හද තුළ උල්පතක් සේ රූරා ගලා හැලෙන ආදරය දුර සිට හැඳින්නෙමි. දිනෙක එය මුවදොර සොයා ගලනු ඇත. නොඑසේ නම් ඊට පෙර කොතැනකදී හෝ භූගත වනු ඇත. එසේ වුවහොත් ඉන් ගස්වැල් මල් පල දරන බිමක් සශ්‍රීක කරනු ඇත. එබැවින් ඔබ බලා සිටීම උපුල් ශාන්ත සන්නස්ගල ලියූ දීපිකා ප්‍රියදර්ශනී ගයන මතක සැමරුමක පාමුල තබමි. ඔහු එනතුරු මග බලා සිටින ඔබට එය සිහිනයක රැඳුණු ප්‍රබෝධයක් වනු ඇත.

මල් මකරන්ද දෝතට අරන්

නෙතේ කඳුළැලි දරා

මං මග බලා සිටියා

නෙතු ගනඳුරට තරුවක් වෙලා

ඔබ එතැයි සිතා

සිල් බිඳලන්න නොහැකි නිසා

මං මග බලා සිටියා

ඔබේ වීදුරුවේ භාගයක් පිරිලද භාගයක් හිස්ද

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

ජීවිතය කියන ගඟ ගලාගෙන යන්නේ සරල රේඛාවක් දිගේ නෙවෙයි. එම ගඟ ඔස්සේ සතුටු දිය සමඟ ප්‍රශ්න, කම්කටොලු ගොඩක් මුසුවෙලා එනවා. සතුට වගේම දුකත් ජිවිතයෙන් සහමුලින්ම මකා දමන්න ලෙහෙසි නැහැ. අන්න ඒ නිසාදෝ සමහර සරල අතීත සිදුවීම් වර්තමානයේදී පවා සිත රිදෙන්නම පාරනවා. රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා.. සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා.. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.. කියලා අමරසිරි පීරිස් මහතා ගායනා කරන්නේද අතීත මඟ හැරුණු ප්‍රේමය සිතින් දරාගෙන හදවතින් සුසුම් හෙළන තරුණයෙක් ගැන කතාවක්. කෙසේ වෙතත් ආතතිය (Stress) සහ විශාදය (Depression) කියන මානසික රෝගී තත්ත්වය වත්මන් මිනිස් පරම්පරාව තුළ දකින්න ලැබෙන බහුල මානසික රෝගී තත්ත්වයන් දෙකක් කියන්න පුළුවන්.

අද කාලයේදී මුදල් ඉතාම වැදගත් සාධකයක් බවට පත්වී තියෙන නිසා හැමදෙනාම මුදල් හොයාගන්න පුළුවන් ක්‍රම සහ විධි නිතරම හොයනවා. මුදල් පසුපස හඹායන අතරේ ජීවිතය තුළ තවත් ප්‍රශ්න රැසක් හතු පිපෙනවා වගේ ජනිත වෙනවා. මෙහෙම පැනනගින සමහර ප්‍රශ්න ජීවිතය පුරාම මහා බරක් වෙන්නේ එම ප්‍රශ්න ඒ තරම් සංකීර්ණ නිසාද? නැත්නම් එම ප්‍රශ්න වලට අපි ජීවිතය තුළ අනවශ්‍ය ඉඩක් සහ තැනක් දෙන නිසාද? ඒ ගැන දැනගන්න පුංචි කතාවක් වෙතට අවධානය යොමු කරමු.

දවසක් සරසවියක කථිකාචාර්යවරියක් තම දේශනය පවත්වන්න දේශන ශාලාවට ඇතුළු වුණා. විභාගය ළංවෙන කොට ළමයි බහුතරයක් පරවුණ මල් බවට පත් වෙනවා. ඔවුන්ගේ මුහුණේ තියෙන සතුට වියැකී ගිහින් මනසේ තියෙන අසහනය ඇස්වලින් පෙනෙන්න පටන් ගන්නවා. බොහෝ ළමයි විභාගය, ආදරය, විරහව, මුදල්, අරගල වගේ නොයෙක් නොයෙක් ප්‍රශ්න නිසා ආතතියෙන් පෙළෙන බව ඇයට දැනුණා. ඇය කරන්න සිතාගෙන ආව දේශනය පස්සේ දවසක කරන්න හිතලා ළමයි සමඟ නිදහසේ කතා කරන්න හිතුවා. ඇය මේසය මත බීමට තියලා තිබුණ වතුර වීදුරුව භාගෙට පිරෙව්වා. ඊට පස්සේ භාගෙට පිරුණ චතුර වීදුරුව ළමයින්ට උස්සලා පෙන්නුවා. කථිකාචාර්යවරිය වීදුරුව භාගයක් පිරිල ද නැත්නම් භාගයක් හිස් ද කියන සාම්ප්‍රදායික ධනාත්මක චින්තන සංකල්පය පැහැදිලි කරත්ත සූදානම් බව ළමයි හිතුවා. නමුත් ඇය ඉදිරිපත් කළේ ඊට හාස්පසින්ම වෙනස් අදහසක්.

'ඔයා පොඩ්ඩක් මෙතැනට එන්න' ඇය දිගු කල්පනාවක ඉන්න ශිෂ්‍යයකුට කිව්වා. ඊට පස්සේ ඇය භාගෙට පිරුණ වතුර වීදුරුව දකුණු අත ඉදිරියට දිගු කරලා ඇඟිලි දෙකකින් අල්ලාගෙන ඉන්න කිව්වා. ශිෂ්‍යයාද ඇය කියන ආකාරයට කටයුතු කළා.



'ඔයාගේ අත රිදෙනවද? ' කථිකාචාර්යවරිය ඇහුවා.

'කොහෙත්ම නැහැ' ශිෂ්‍යයා කිව්වා.

'ඇයි ඔයා එහෙම කියන්නේ? '

'මේක භාගෙට වතුර පිරුණ පුංචි වීදුරුවක්. ඒක නිසා පොඩ්ඩක්වත් බර නැහැ. ශිෂ්‍යයා කිව්වා. ශිෂ්‍යයාට එහෙමම ටික වේලාවක් ඉන්න කියලා කථිකාචාර්යවරිය අනික් ශිෂ්‍යයන්ට ආතතිය කියන කාරණය ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න පටන් ගත්තා. ඔන්න ඔහොම විනාඩි 10ක් විතර කථිකාචාර්යවරිය කතා කර කර හිටියා.

'ඔයාගේ අත රිදෙනවද?' කථිකාචාර්යවරිය යළිත් අර ශිෂ්‍යාගෙන් ඇහුවා.

'දැන් නම් ටිකක් රිදෙනවා. එහෙත් අල්ලාගෙන ඉන්න පුළුවන් ' ශිෂ්‍යයා කිව්වා.

ශිෂ්‍යයාගේ එම ප්‍රතිචාරයත් සමඟ කථිකාචාර්යවරිය යළිත් සරසවි සිසුවියන්ට පැහැදිලි කිරීම කරගෙන ගියා. එහෙම ටික වෙලාවකට පස්සේ ඇය වීදුරුව අල්ලාගෙන ඉන්න ශිෂ්‍යයාගේ අත රිදෙනවද කියලා ඇහුවා.

'ඔව් මිස්. දැන්නම් අත ගොඩක් රිදෙනවා' ශිෂ්‍යයා ඉතා අමාරුවෙන් කිව්වා. ඊට පසුව වීදුරුව ශිෂ්‍යාගේ අතින් අරගෙන කතා කරන්න පටන් ගත්තා.

ජීවිතයේ බොහෝ ප්‍රශ්න මෙන්න මේ හාගෙට පිරුණ වීදුරුව වගෙයි. ඒ තරම් බරක් නැහැ. නමුත් මේ බර නැති වීදුරුව වුණත් විනාඩි පහක් අතේ තියාගෙන හිටියම අත රිදෙන්න පටන් ගන්නවා. ඒ වගේම විනාඩි 30ක් අල්ලාගෙන හිටියොත් තවත් අත රිදෙනවා. දවසක් අල්ලාගෙන හිටියොත් අත තවත් ගොඩක් රිදෙන්න පටන්ගන්නවා. අන්න ඒ නිසා පුංචි පුංචි ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එපා. එතකොට ඒවා දරා ගෙන ඉන්න හිතට වගේම හදවතටත් රිදුම් දෙනවා. මානසික ආතතිය සහ විශාදය වගේ රෝගී තත්ත්වයන් ගොඩක් ඇති වෙන්නේ ඔන්න ඔය වගේ පුංචි පුංචි ප්‍රශ්න හිතේ දරාගෙන හිටියම. ප්‍රශ්න ගොඩක් කාලයක් හිතෙන් අල්ලාගෙන ඉන්න එපා. ඒවා ඉක්මනින් විසඳා ගන්න නැත්තම් අමතක කරන්න. ජීවිතය දිහා සරලව බලන්න. ඇය සියලු දෙනාටම එහෙම පැහැදිලි කළා.

මැරුණට පස්සේ සිහිනය සැබෑ කරගත් ෆිට්ස්ජෙරල්ඩ්

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

මල් මිය යන්නේ තවත් මල් පුබුදුවමිනි. දලු ලියලන්නේ පැරැණි කොළ බිමට පතිත කරමින්. මේ වගේ නැවුම් දේවල් ලෝකයට දායාද කරලා ඉතා නිහඬව නැතිවෙලා යන ජීවී අජීවී වස්තූන් ඕනෑ තරම් තියෙනවා. නැතිවෙලා යන්න කලින් තවත් අයට ප්‍රයෝජනවත් වෙන දෙයක් ඇති කරලා යන්න පුළුවන් නම් එය කොයිතරම් සුන්දරද? මල් වගේ හිටිය මිනිස්සු මිය ගියත් ඔවුන් මේ ලෝ තලය තුළ සුවඳ හමන පුංචි ලේන්සුවක් හෝ තියලා යන්න අමතක කරන්නේ නැහැ. සුවඳ වහනය වෙන ලේන්සුවක් තියලා ගිය අපූරු මිනිසකු ගැන ඇත්ත කතාවක් අහමු. ඔහු එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ්. කවුරු හරි කෙනෙක් ඒ නම අහලා නැතත් "ද ග්‍රේට් ගැට්ස්බි" කියන නම ගොඩක් දුරට අහලා ඇති. එෆ්. ස්කොට් ෆිට්ස් ජෙරල්ඩ් ලිව්ව ද ග්‍රේට් ගැස්ට්බිනවකතාව පදනම් කරගෙන නිර්මාණය වුණ "ද ග්‍රේට් ගැට්ස්බිසිනමා පටය 2013 වසරේදී අති සාර්ථකව ලොව පුරා තිරගත වුණා. ලියනාඩෝ ඩිකැප්රියෝ විශිෂ්ට රංගන දායකත්වයක් ලබාදෙන එම සිනමා සිත්තම හොලිවුඩ් සිනමාව ලොවට දායාද කළ තවත් අපූරු නිමැවුමක් කියලා කියන්න පුළුවන්.

එෆ්. ස්කොට් ෆිට්ස් ජෙරල්ඩ් ලිව්ව "ද ග්‍රේට් ගැස්ට්බි" නවකතාව ඇමෙරිකානු සාහිත්‍යයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද විචාරකයන්ගේ සේම පාඨකයන්ගේ නොමඳ පැසසුමට ලක්වුණ විශිෂ්ට කෘතියක්. 1920 දශකයේ ඇමෙරිකාව තුළ ඇතිවුණ ආර්ථික පිබිදීම තුළ මිනිස් ජීවිත සහ සමාජයීය ජීවන රටාවන් වෙනස් වුණ ආකාරය ගැන ගැඹුරු පැතිකඩක් මෙම නවකතාවෙන් නිරූපණය කරනවා. මාර්ටින් වික්‍රමසිංහ ලාංකේය සමාජයේ තීරණාත්මක යුගයක සිදුවූ පෙරළිය "ගම්පෙරළිය'' නවකතාව ඔස්සේ පෙන්නුවා වගේම ෆිට්ස් ජෙරල්ඩ්ස් ඇමෙරිකාවේ සිදු වූ සමාජ විපර්යාසය ද ග්‍රේට් ගැට්ස්බි" නවකතාව මඟින් පෙන්නුවා. ෆිජෙරල්ඩ් ඒ යුගය ජෑස් යුගය වශයෙන් හැඳින්නුවා. එම කාලයට ජෑස් කියන නම යොදන ලද්දේද ෆිට්ස් ජෙරල්ඩ් විසින්මයි. ඔහුගේ විශිෂ්ට නවකතාව පසුපස ජීවිතය අංශක 180කින් වෙනස් වෙන තවත් අතුරු කතාවක් තියෙනවා.


ෆිරල්ඩ් පුංචි කාලේ ඉදලම සිහින මැවුවේ කවදා හෝ මිනිස් ජීවිත වෙනස් කරන ලේඛකයෙක් වෙන්න. ලේඛකයෙක් වීම අනිත් සියලුම සිහිනවලට වඩා සැබෑ කරන්න අමාරු සිහිනයක් කියලා ඔහුට තේරුණා. මන්ද යත් ලියන්නා ලියන දේ රසිකයා පිළිගනියිදෝ, ප්‍රතික්‍ෂේප කරයිදෝ කියන අවදානම ලේඛකයෙක් වෙන්න සිහින මවන ඕනෑම ලේඛකයෙක්ට තියෙනවා. ඔහු පාසල් සමයේ ඉඳලම ලියන්න පටන් ගත්තා. වයස අවුරුදු 13දී පාසල් සඟරාවකට රහස් පරීක්‍ෂක කතාවක් ලිවීම ඔහුගේ මුල්ම උත්සාහයක් වශයෙන් හඳුන්වන්ත පුළුවන්. ලියපු පළමු කතාවෙන්ම ජනප්‍රිය වෙන්න තරම් ඔහු වාසනාවන්ත වුණේ නැහැ. නමුත් ෆි ජෙරල්ඩ් දිගින් දිගටම තම අදහස් ප්‍රකාශ කරන්න ලැබුණ සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. පසුව ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසුව ප්‍රින්ස්ටන් සරසවියට ඇතුළු වුණා. නමුත් ඔහු උපාධිය අතරමඟ දමා පළමු ලෝක යුද්ධය වෙනුවෙන් සටන් කරන්න යුද්ධයට බැඳුණා. යුද පිටියේ සටන් කරද්දී පවා ඔහු නිතරම කල්පනා කළේ කවදා හෝ දවසක ලේඛකයෙක් වෙන අයුරු ගැන. යුද්ධයේදී මියගියොත් තමන්ට ලේඛකයෙක් වීමේ සිහින බිඳ වැටෙයිදෝ කියන බියෙන් පවා ඔහු පසුවුණා.

යුද්ධය නිමාකරලා නැවැත නිවෙසට පැමිණි පසුව ෆිට්ස් ජෙරල්ඩ් යළිත් ලියන්න පටන් ගත්තා. 1920 දී පළකළ This side of paradise ඔහුගේ ප්‍රථම නවකතාව වුණා. ඉන්පසුව ඔහු 1925 දී The Beautiful and Damned නවකතාව ප්‍රකාශ කළ අතර 1925 දී ඔහුගේ සිහින නවකතාව වුණ The Grat Gatsby නවකතාව පළකළා. නමුත් ඔහුගේ විශ්වසනීය සිහිත කෘතිය, ඔහුගේ විශ්වසනීය සිහින බිඳ දැම්මා. මන්ද යත් ද ග්‍රේට් ගැට්ස්බි" නවකතාව අලෙවි වුණේ ඉතාමත් සෙමින්. නවකතාව පළ කිරීමෙන් වසර දහයක් ගත වන විටත් අලෙවි වෙලා තිබුණේ පිටපත් 20,000ක පමණ ප්‍රමාණයක්. මෙය ඇමෙරිකාව වගේ රටක ඉතාම සුළු පිටපත් ප්‍රමාණයක්. ෆිටි ජෙරල්ඩ් මේ සම්බන්ධව සැහෙන්න කලකිරුණා. ද ග්‍රේට් ගැට්ස්බි" නවකතාව ජනප්‍රිය විය යුතු විශිෂ්ට කෘතියක් කියලා ඔහු දැඩිව විශ්වාස කළා. එයින් ඔහු කොයි තරම් කලකිරීමට පත්වුණාද කියලා කියනවා නම් ඔහු නැවත වසර නවයකට පසුව තමයි Tender is the Night නවකතාව ප්‍රකාශ කරන්නේ. ලේඛකයෙක් වුනත් මිනිස ජිවිත වෙනස් කරන විශිෂ්ට ලේඛකයෙක් වෙන්න බැරිවුණා කියන දුකින් පසුවුණ ඔහු 1940 දෙසැම්බර 21දා වයස අවුරුදු 44ක් ජීවත්වෙලා මියයනවා. තමා අසාර්ථක ලේඛකයෙක් කියන මතය ඔහු මියයන තුරුම ඔහුගේ මනසේ තිබුණු බව පැවැසෙනවා.  'ද ග්‍රේට් ගැට්ස්බි' කෘතියට හිතපු තරම් ප්‍රතිචාර සහ අවධානය නොලැබීම ඊට බලපෑව ප්‍රධාන හේතුව වුණා. නමුත් මියගිහින් වසර කිහිපයක් ගත වෙන තැන 'ද ග්‍රේට් ගැට්ස්බි' නවකතාව ටිකෙන් ටික ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. සෙබළුන්ට මානසික විවේකයේදී කියවිය යුතු පොතක් ලෙස එය නියම වුණ අතර පිටපත් 1,55,000 සෙබළුන් අතරේ බෙදා දුන්නා. එය 'ද ග්‍රේට් ගැට්ස්බි' කෘතියේ විකුණුම් වේගවත් කළ සිදුවීමක් වුණා. ෆිජෙරල්ඩ් ජීවත් වුණ කාලයේදි පිටපත් සුළු ප්‍රමාණයක් විකුණන නවකතාව මේ වන විට පිටපත් ලක්ෂ 160ක් විකිණිලා අවසානයි. එසේම එය පදනම් කරගෙන දැවැන්ත සිනමාපට 5ක් නිර්මාණය වුණා. අද වන විට 'ද ග්‍රේට් ගැට්ස්බි' ඇමෙරිකානු සාහිත්‍යයේ ස්වර්ණමය කෘතියක් වශයෙන් සලකනවා. නමුත් ෆිට්ස්ජෙරල්ඩ් මේ කිසිම සාර්ථකත්වයක් දකින්න තරම් වාසනාවන්ත වුණේ නැහැ. නමුත් ඔහු මැරෙන්න කලින් තබා ගිය මලේ සුවඳ කාලයක් ගියාම සෙමින් සෙමින් හමන පටන් ගත්තා. සැබැවින්ම ෆිට්ස් ජෙරල්ඩ් මිනිස් ජිවිත වෙනස් කළ ලේඛකයෙක්. සමහර සිහින අතරමඟදී සිහිත දකින්නාට ගිලන්ව මියයන්න සිද්ධ වෙයි. නමුත් හඹා ගිය සිහිනය වඩා විශිෂ්ට නම් සිහින දකින්නා මිය ගියත් කවදා හෝ දවසක සිහිනය සැබෑ වෙනවා.

ඔබේ තාත්තත් මේ වගේද

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

රස්සාවක් කරන ගමන් පවුල් ජීවිතයත් සමබරව ගෙනියන එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි කියලා පවුල්කාරයෝ නිතරම කියනවා. රැකියා ආයතනයේ අති සාර්ථක සමහර නිලධාරීන් පවුල් ජීවිතයේදී අසාර්ථකයි. මේ ගැන නැවත හිතලා බලන්නත් එක්ක රස්සාව සහ පවුල් ජීවිතය ගැන කියැවෙන අපූරු කතාවක් ඔයාට කියන්නම්.

ඔන්න තාත්තා කෙනෙක් හිටියා. මේ තාත්තා වැඩ කළේ පෞද්ගලික ආයතනයක, තාත්තා කොල්ලා කාලේදී එයාගේ රැකියා ජීවිතය පටන් ගත්තේ ගොඩක් පහළ තැනකින් ඒක නිසා මෙයාට ඕන වෙලා තිබුණා දවසින් දවස වෘත්තීය ජීවිතයේ ඉහළටම ගිහින් පවුලේ උදවියට සෞභාග්‍යවත් ජීවිතයක් ලබා දෙන්න. කොහොමහරි මේ වන විට තාත්තා යම් තැනකට ඇවිල්ලා ඉන්නේ. එයා ලොකු සමාගමක ගබඩාවක සුපවයිසර් කෙනෙක්. එයාට සැලකිය යුතු පඩියකුත් ලැබෙනවා. ඒත් එයා ඒ ගැන සතුටු නම් නැහැ. දවල් රෑ නොබලා එයාගේ දරු දෙදෙනා සහ බිරියගේ සුබසෙත පතාගෙන ඔහු දිගටම වැඩ කරන්නේ කවදා හරි ලොකු සතුටක් බලාපොරොත්තුවෙන් සමහර දවස්වල ගෙදර එනකොට රෑ වෙනවා. පවුලේ අයත් එක්ක එකතු වෙලා ගොඩක් කාලෙකින් කෑමක් බීමක් ගන්නවත් තාත්තට වෙලාවක් නැහැ.

දවසක් තාත්තා ගෙදර ආවේ ගොඩක් සතුටින් මොකද එයා ජ්‍යෙෂ්ඨ වැඩ බලන්නෙක්. එහෙමත් නැත්නම් සීනියර් සුපවයිසර් කෙනෙක් විදියට උසස් කරලා. ඒ සඳහා ආයතනය පවත්වපු පරීක්ෂණයෙන් තාත්තා ඉහළින්ම සමත් වුණේ පසුගිය දවස්වල ඒ වෙනුවෙන් කැපවෙලා පාඩම් කරපු නිසා. උසස් වීමත් එකම තාත්තා පවුලේ අයත් සමඟ කාලය ගමන් පාඩම් කරනවා. සති අන්ත දවස් වල උපාධියට අදාළ දේශනවලට යනවා. එයාගෙ බිරිය සහ පවුලේ දරුවන් තාත්තාට නිතරම මැසිවිලි නැඟුවේ වැඩ විතරක්ම කරන්නේ නැතුව ටිකක් සැහැල්ලුවෙන් ඉන්න කියලා. මේ දේවල් හරියට කරගත්තොත් දිගටම සතුටින් ඉන්න පුළුවන් තාත්තා එතකොට එහෙම කිව්වා. තාත්තට පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරන්න ලොකු කැමැත්තක් තිබුණා. එහෙත් තව ටිකක් දුර රැකියාවේ ඉහළට ගියොත් සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා තාත්තා නිතරම හිතුවා.

අවුරුදු දෙකක් විතර යනකොට සහකාර ගබඩා කළමනාකරුවෙක් බවට උසස්වීමක්ද මේ තාත්තාට ලැබුණා. දැන් තාත්තාගේ පඩිය තවත් හොඳයි. ඒක නිසා ගෙදර වැඩ පහසු කරගන්න සේවිකාවකුත් ගෙන්නුවා. පරණ ගෙදර විකුණලා අලුත් ගෙදරක පදිංචියටත් ගියා. ගෙදර දොර වෙනස් කළත් තාත්තාගේ ජීවන රටාව නම් වෙනස් වුණේ නැහැ. තවත් ටිකක් මහන්සි වෙලා වැඩ කළොත් ගබඩා කළමනාකාර තනතුරට පත්වෙන්න පුළුවන් කියලා ඔහු හිතුවා. එම නිසා පවුලේ උදවියගේ මැසිවිලි මැද තව තවත් ඔහු වැඩ කළා.



මෙහෙම කාලය සෙමින් ගමන් කරද්දී තාත්තා උපාධියත් සම්පූර්ණ කළා. තාත්තාගේ කැපවීම සහ උනන්දුව නිසා සමාගමේ කළමනාකාරිත්වය ඔහුව ගබඩා කළමනාකාර තනතුරට පත් කළා. ඔහුගේ සිහින සැබෑ වුණා. එයාට ලස්සන කාර් එකකුත් ලැබුණා. දැන් තාත්තාට ගොඩක් සතුටුයි. ඔහු උසස්වීම ලබාගත් දවසේ ගෙදරට ආවේ වෙනදා වගේ මුහුණ බර කරගෙන නොවෙයි. ඉහේ මලක් පිපුණා වගේ ගොඩක් සැහැල්ලුවෙන්. තාත්තා පවුලේ හැමෝටම ගෙදර සාලෙට එන්න කිව්වා. හෙට ඉඳන් වැඩ විතරක්ම කරන්නේ නැතුව පවුලේ උදවිය සමඟ සතුටින් ඉන්නවා කියලා ඔහු හදවතින්ම පොරොන්දු වුණා. ගොඩක් කාලේකට පස්සේ හෙට උදෑසනම විනෝද චාරිකාවක් පවුලේ උදවිය එක්ක යනවා කියලත් ඔහු පොරොන්දු වුණා.

මෙතෙක් කාලයක් කාර්යබහුලත්වය සහ තෙහෙට්ටුව විතරක් කරපින්නාගෙන වෙහෙසුණ ජීවිතය වෙනුවට හෙට ඉදන් උදාවෙන සැහැල්ලු ජීවිතය ලොකුම සැපතක් වෙයි කියලා හිතමින් තාත්තා නින්දට ගියා. නමුත් තාත්තා අපේක්ෂා කළ සැහැල්ලු ජීවිතේ ගත කරන්න අනිත් දවසේදී තාත්තා ඇහැරුණේ නැහැ. මන්ද යත් එදින රාත්‍රියේදී තාත්තා මිය ගියා.

ඔයගොල්ලෝ කියන නිසා මම එහෙම කියන්නම්

ඔබ සත්‍ය පවසනවා නම් කිසිවක් මතක තබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා වරක් මාර්ක් ට්වේන් පැවැසුවා. ඒ සරල වැකිය පැහැදිලිවම ඇත්ත ගැන ගැඹුරු සත්‍යයක් පෙන්වනවා. මන්ද යත් අපි ඇත්ත කියනවා නම්, එය තහවුරු කරන්න බොරු හේතු දහසක් පවසන්නත් ඒ බොරු හේතු අමාරුවෙන් මතක තියා ගන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ. සත්‍යය සහ මිථ්‍යාව අතර පරතරය සමහර වෙලාවට නූලක තරමේ පුංචි දුරක් වෙන්න පුළුවන්. නමුත් මිථ්‍යාවේ ඉඳලා සත්‍යය වෙත ගමන් කරන්න සමහර මිනිසුන්ට ජිවිත කාලයත් මදි. ඒ වගේම සත්‍ය ලේ ගංගාවක ගිල්ලාවත් සඟවන්න බැහැ කියලා සදාතනික සත්‍යක්ද තියෙනවා කියලා පිළිගන්න වෙනවා. මිනිස්සු මිථ්‍යාව කියන කළුවර කුටියේ ඉදගෙන සත්‍ය නම් ආලෝකය දකින්න වෙහෙසෙනවා. නමුත් ඔවුන් මිථ්‍යාව නම් කළුවර කුටියෙන් පිටතට එනතුරු ඔවුන්ට සත්‍යය දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම මිථ්‍යාවට මුළා වුණ මිනිස්සු අද වගේම අතීතයෙන් ඕනෑ තරම් ඉඳලා තියෙනවා.

අහසේ ඈත දිලෙන තරුවලට හදවතින් වගේම මොළයෙන්ද ආදරය කළ නිකොලස් කොපර්නිකර්ස් කියන්නේ ලොව එතෙක් මෙතෙක් බිහිවුණු විශිෂ්ටතම තාරකා විද්‍යාඥයෙක්. 1473 සිට 1543 දක්වා කාල සීමාව තුළ කාලයේ පෝලන්තයේ ජීවත් වුණ මෙම විශිෂ්ට මිනිසා ලෝකය උඩු යටිකුරු කරන සත්‍ය රැසක් බය නැතුව හෙළි කළා. "අපි දන්නේ නැති දේවල් වල තියෙන දන්නේ නැති දේවල් දැන ගැනීම තමයි සැබෑ දැනුම" කියලා ඔහු නිතර පැවැසුවා. එම නිසාම පෙනෙන දේවල තියෙන නොපෙනෙන දේ සෙවීම ඔහුගේ සැබෑම ජීවන උත්සාහය වුණා. එම නිසා ඔහු ඉදිරිපත් කළ 'කොපර්නියන් සිද්ධාන්තය' මඟින් ලොව හොල්ලන මතවාදයක් කරළියට ගෙන එන්න ඔහු සමත් වුණා.

මුළු විශ්වයේ හරි මැද අපි ජිවත් වෙන මෙම පෘථිවිය පිහිටලා තියෙන බව ඉස්සර, ඒ කියන්නේ අපේ ආදිතම මුතුන් මිත්තෝ විශ්වාස කළා. ඒ වගේම ඉර ඇතුළු අනෙක් සියලුම ග්‍රහ වස්තු පෘථිවිය වටා කැරකෙනවා කියලා ඒ අය දැඩිව විශ්වාස කළා. දේව සංකල්පය පදනම් කරගත්ත බොහෝ ප්‍රමුඛ ආගම් වල පූජකවරුන්ද එය එහෙමමයි කියලා දිගින් දිගටම දේශනා කළා. නමුත් එක මිනිසෙක් පමණක් ''නැහැ ඒක එහෙම නෙවෙයි'' කියලා තරයේ විශ්වාස කරලා ඒ ගැන දිගින් දිගටම සොයන්න පටන් ගත්තා. ඔහු නිකොලස් කොපර්නිකර්ස්. ජීවිතය අංශක 180කින් වෙනස් කරන අපේ පුංචි කතාවේ වීරයා තමයි ඔහු.

රාත්‍රි අහස ගණිතමය ආකාරයට තේරුම් ගත්ත ඔහුගේ විද්‍යාත්මක සෙවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඔහු පෘථිවිය විශ්වයේ මධ්‍ය ලක්ෂ්‍යය නොවන බවත්, එය ඉර වටා කැරකෙන්නේ නැති බවත්, ඉර වටා පෘථිවිය ගමන් කරනවා කියලත් සොයාගත්තා. එසේම තවදුරටත් තවත් ග්‍රහලෝක කිහිපයක් ඉර වටා කැරකෙනවා කියලත් ඔහු පැවැසුවා. දැඩි දේව විශ්වාසයක් සහ ආගමික බලපෑමක් තිබුණු කාලයක එවැනි මතයක් ඉදිරිපත් වීම ගැන විරෝධතා රැසක් නිකොලස් කොපර්නිකර්ස්ට එරෙහිව එල්ල වුණා. නමුත් ඒ තර්ජනවලට බයේ ඔහු ඔහුගේ මතය අබමල් රේණුවකින්වත් වෙනස් කරගත්තේ නැහැ. සාමාන්‍යයෙන් අදටත් සමාජයේ මිථ්‍යාවට එරෙහි උද්ඝෝෂණ වලට වඩා සත්‍යයට එරෙහි උද්ඝෝෂණ වැඩි බව මනාව පෙනෙනවා. නිකොලස් කොපර්නිකර්ස්ට එරෙහි තර්ජන එන එන්නම වැඩි වුණා. පෘථිවිය විශ්වයේ මධ්‍ය ලක්ෂ්‍යය බවත්, එය වටා ඉර ගමන් කරන බවත් පිළිගෙන එය ප්‍රසිද්ධියේ කියන්න කියලා පිරිසක් ඔහුට දැඩිව තර්ජනය කළා. ඔවුන්ගේ දැඩි තර්ජනයෙන් බේරෙන්න බැරිම තැන ඊට පිළිතුර වශයෙන් නිකොලස් කොපර්නිකරිස් නිර්මාණශීලීව ප්‍රබල උත්තරයක් දුන්නා.

ඔයගොල්ලෝ කියන නිසා පෘථිවිය වටා ඉර ගමන් කරනවා කියලා මම කියන්නම්. නමුත් ඇත්තටම ඉර වටා පෘථිවිය ගමන් කරන එක නම් මට නවත්තන්න බෑ."

ඔහුගේ එම විශිෂ්ට කියමන නැවත නැවත හැදෑරිය යුතුයි. මන්ද යත් බොහෝ දෙනා පිළිගන්න නිසා සමහරු සමහර අසත්‍ය දේවල් පිළිගත්තත්, ඇත්තටම ඒවා සත්‍යය නෙවෙයි. ඒ වගේම සමහරු දේශපාලන බලය, ධන බලය සහ ජන මාධ්‍ය බලය යොදාගෙන සමහර අසත්‍ය ජනතාවට සත්‍ය වශයෙන් පිළිගන්න කියලා දිගිත් දිගට අණ කරනවා. නමුත් අසත්‍ය සහ මිථ්‍යාව අසත්‍යයක්ම මිසක්, කවදාවත් සත්‍යයක් වෙන්නේ නැහැ. ඒක හරියට පෘථිවිය වටා ඉර ගමන් කරනවා කියලා කිව්වට ඇත්තටම ඉර වටා පෘථිවිය ගමන් කරන එක නම් මට නවත්වන්න බැහැ කියලා කොපර්නිකර්ස් කිව්ව කතාවට සමානයි. "සත්‍යය පවසා මා හැඬවීම බොරු පවසා මා සනසනවාට වඩා අගනේය" කියලා කතාවටත් කියන්නේ අන්න ඒ නිසයි. එම නිසා අමාරුවෙන් හරි සත්‍යය වැලඳගනිමු.

සැබෑ නායකයා

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

නායකත්වය කියන්නේ මේ ලෝකයේ තියෙන හරි අපූරු තනතුරක්. මොකද ගොඩක් දෙනෙක්ට බලය ලැබෙන්නේ තනතුරෙන්. නමුත් නායකයාට බලය ලැබෙන්නේ තනතුරෙන් නෙවෙයි. ඒ වගේම නායකත්වය කියන තනතුරද බන්දේසියක තියලා කාටහරි ලැබෙන තනතුරකුත් නෙවෙයි. නායකයාට බලය ලැබෙත්තේ ඔහුගේ හෝ ඇයගේ නායකත්ව ශෛලියෙන්. ඒ කියන්නේ කරන කියන වැඩවලින්. ඒ වගේම නායකයා සහ පාලකයා අතර පරතරයද අහසට පොළොව තරම් කියලා කිව්වොත් හරියටම හරි. මොකද නායකයා කියන්නේ පාලකයාටත්, පරිපාලකයාටත්, කළමනාකරුවාටත් එහා ගිය විශිෂ්ට මනුෂ්‍යයෙක්. එම නිසාම තමයි ඕනෑම සත්ත්ව වර්ගයක් තුළ නායකයන් ඉතාම ස්වල්ප ප්‍රමාණයක් ජීවත් වෙන්නේ. මම කියන මේ කතාව සත්‍ය කතාවක්. නමුත් සිද්ධියේ නම් ගම් අමතක කරලා අපි ඒ කතාව තුළ තියෙන නොකී කතාව තේරුම් ගනිමු. 

එක්තරා දරුණු පාලකයෙක් රටක් පාලනය කළා. ඔහුගේ එකම අරමුණ වුණේ තව තවත් රටවල් ආක්‍රමණය කරලා යටත් කර ගැනීම. ඔහුට ඉන් එහා අරමුණක් තිබුණේ නැහැ. එම නිසාම ඔහු ජනතාවගේ සුබ සිද්ධිය ගැන හිතුවේ නැහැ. අලුත් රටවල් අල්ලා ගත්තත් ඔහුගේ මව් රටේ ජනතාව සෑහෙන්න දුක් වින්දා යුද්ධය වෙනුවෙන් විශාල වියදමක් දරන්න සිද්ධ වුණ නිසා. රටේ සම්පත් සියල්ලම යුද්ධය වෙනුවෙන් කැප කළා. රටේ තරුණ ජීවිත අකාලයේ අබ්බගාතයන් වුණා. තරුණියන් වැන්දඹුවන් වුණා. මවුපියන් ශෝකයෙන් කාලය ගත කළා.

මෙම දරුණු පාලකයාගේ ක්‍රියා කලාපය ඉවසන්න බැරි ඔහුගේම හමුදාවේ ඉහළම නිලධාරීන් පිරිසක් මෙම දරුණු පාලකයා රහසිගත සැලැසුමක් ඔස්සේ ඝාතනය කරන්න හිතුවා. මෙම පාලකයා ලෝකයෙන් ඉවත් කරලා රටට සාමය සහ සතුට ගෙනත් දෙන මෙහෙයුමේ නායකත්වය ගත්තේද මෙම පාලකයාට ඉතා සමීප හමුදා නිලධාරියෙක්. අපි ඔහුට මේජර් X කියලා කියමුකෝ. මෙම නායකයාට සහාය දෙන්න නවක කනිටු සෙබළෙක් නොබියව ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වුණා. අපි ඔහුට කෝප්‍රල් Y කියලා කියමු. කනිටු සෙබළාට පාලකයාට එරෙහිව නැඟී සිටින මෙම X කියන නායකයා පෙනුණේ නිර්භීත වීරයෙක් විදියට. කුරිරු පාලකයා ඝාතනය කිරීමේ සැලසුමට මෙම නායකයාට උදවු කරන්න අනුගාමිකයන් රැසක් රහසිගතව එකතු වුණා. සැලැසුමට අනුව පාලකයාගේ මෝටර් රථය තුළ කාල බෝම්බයක් රඳවලා එය පුපුරුවා හැරීම තුළින් ඔහුව මරන්න සියලු සැලැසුම් රැයවල් පහන් කරමින් දවස් ගාණක් පුරා ඔවුන් හැදුවා. මෝටර් රථය තුළ බෝම්බය සවි කිරීමේ භාරදූර වගකීම තවත් කාටවත් පවරන්නේ නැතිව එය ඉටු කරන්න X කියන නායකයා ඉදිරිපත් වුණා. ඒ වගේම ඔහුට සහාය දෙන්න Y කියන කනිටු සෙබළා ද ඉදිරිපත් වුණා.

සැලැසුම් කළ පරිදි ඔවුන් බෝම්බය ඇටෙව්වා. බෝම්බය සහිත මෝටර් රථයෙන් පාලකයාද එදා උදෑසනම පිටත් වුණා. විනාඩි දහයක් ඇතුළත පිපිරෙන්න සැලැසුම් කළ බෝම්බය විනාඩි දහයක් නිමා වෙද්දිම පිපිරුණා. නමුත් කුරිරු පාලකයා මිය ගියේ නැහැ. ඔහුට එවැනි බෝම්බයක් මෝටර් රථයේ සවි කරලා තියෙන බව ඝාතන සැලැසුමටම සම්බන්ධව හිටිය නිවට නිලධාරියකු අවසාන මොහොතේදී දන්වලා තියෙනවා. එම නිසා පාලකයා බෝම්බය පිපිරෙන්න ඔන්න මෙන්න තියෙන මොහොතේදි රථයෙන් පිටතට පැනලා ජීවිතය බේරා ගත්තා. අදාළ සිද්ධියෙන් පස්සේ ඝාතන සැලැසුමට සම්බන්ධ සියලු දෙනාම වෙඩි තබා ඝාතනය කරන්න පාලකයා තීරණය කළා. ඊට දින කිහිපයකට පස්සේ වරදරකරුවන් සියලු දෙනාම එක පෙළට තියලා ඝාතනය කර පසුව අවසානයට ඉතිරි වුණේ පාලකයා ඝාතන සැලැසුමේ මහ මොළකාරයා වන නායකයා සහ නායකයාට වඩාත් සමීපව වැඩ කරපු කනිටු සෙබළා.

ඒ දෙන්නාගෙන් මුලින්ම වෙඩි තබා ඝාතනය කරන්න නියම වෙලා තිබුණේ හමුදා නායකයා. ඔහු වැලි ගොඩ ළගට කිසිදු බියක් නැතිව ආත්ම අභිමානයෙන් පිය නැංගා. මොකද ඔහුගේ හෘද සාක්ෂිය දන්නවා ඔහු වැඩකටයුතු කළේ නිවැරැදි දැක්මකට අනුව කියලා. වෙඩි තැබීමට අණ දෙන හමුදා නිලධාරියා අවසාන අණ නිකුත් කරන විටම Y කියන කනිටු හමුදා සෙබළා නායකයා ඉදිරියට ඇවිත් වෙඩි තබන සෙබළුන්ට පසුපස හරවාගෙන නායකයාගේ මුහුණ බලාගෙන සීරුවෙන් හිටගත්තා. ඒ මොහොතේම නායකයාට තැබූ වෙඩි සියල්ලම කනිටු සෙබළාට වැදුණා.

"නිවටයන්ගේ මුහුණ බලාගෙන වෙඩි කනවාට වඩා ඔබ වැනි නියම නායකයෙක් ගේ ඇස් දෙක දිහා බලාගෙන මියයෑම මගේ ආත්මයට මහා ගෞරවයක්"

කනිටු සෙබළාට වෙඩි වැදිලා මිය යන්න මොහොතකට පෙර නායකයාගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන කිව්වේ ඒ අමරණීය වාක්‍යය. සැබෑ නායකයාට අනුගාමිකයන් ජයග්‍රහණයේදී වගේම පරාජයේදීත් ආදරය කරනවා. නමුත් පාලකයා වෙනුවෙන් අනුගාමිකයන් පෙනී ඉන්නේ ජයග්‍රහණයේදී පමණයි.

" මම නායකයෙක් කියලා ඕනෑම කෙනෙක්ට හිතාගන්න පුළුවන්. එහෙම කියන්න කියලා අනෙත් අයට කියන්නත් පුළුවන්. නමුත් එහෙම කියන කෙනා සැබෑ නායකයෙක් වෙන්නේ අනෙත් අය " ඔයා නායකයෙක්" කියලා හදවතින්ම කියනවා නම් විතරයි.

මයිකල් ජැක්සන්ට පුහුණුව එපා වුණාද?

පුහුණුව ඔබව පරිපූර්ණ කරයි කියලා කතාවටත් කියනවා. පුහුණු වීම ඔස්සේ ලැබෙන අධ්‍යාපනය ඉතාම ප්‍රායෝගිකයි. කිසියම් ක්‍ෂේත්‍රයක ඉහළටම ගිය චරිත පිළිබඳ කළ පර්යේෂණවලින් හෙළි වුණු ඉතාම වැදගත් කරුණ නම් ඔවුන් වඩා වැඩිපුර පුහුණු වීම් සිදු කළේ විශිෂ්ටත්වයට පත්වුණු පසුවයි කියන අපූරු කාරණය. ඉතා සාර්ථක ක්‍රීඩකයන් තවමත් මේ තරම් උනන්දුවෙන් පුහුණු වෙන්නේ ඇයි? සල්ලිවලට රටක් රාජ්‍යයක් වුවත් මිලයට ගන්න තරම් හැකියාවක් සහ බලයක් ඇති ලොව ධනවත්ම ව්‍යාපාකයක් වන බිල් හේස් වැනි ව්‍යාපාරිකයන් තවමත් ඉතා උනන්දුවෙන් පොත් කියවන්නේ. තවත් මොනවා ඉගෙන ගන්නද? සල්මන් ඛාන්, ශාරුක් ඛාන් වැනි පනහ පැන්න ලෝක ප්‍රකට නළුවන් තවමත් හරිම වෙලාවට ජිම් එක පැත්තේ ගිහින් ව්‍යායාම් කරන්නේ ඇයි? එවැති ප්‍රශ්නයක් හිසට එන එක ඉතාම සාධාරණයි. එම සාධාරණ ප්‍රශ්නයට සාධාරණ උත්තරයක් ජීවිතය අශක 180කින් වෙනස් කරන කතාවකින්ම ලබා දෙන්නම්.

මයිකල් ජැක්සන් කියන නම අහපු නැති කෙනෙක් නැහැ. ලෝක ඉතිහාසය එතෙක් මෙතෙක් බිහි කළ ජනප්‍රියතම ගායන තරුව තමයි මයිකල් ජැක්සන්. මයිකල් ජැක්සන් වගේ නටන එක නම් හිතා ගන්නවත් බැහැ. මයිකල්ගේ මෙම ජනප්‍රියතාව පිටුපස සැඟවුණු රහස තමයි ඔහුගේ අසීමිත පුහුණුව. ඔව්, එයට අසීමිත පුහුණුව කියන වචනය හැර වෙනක් පහසු වචනයක් භාවිත කරන්න බැහැ. ඇත්තටම ඔහු දවසේ වැඩි කාලයක් පුහුණුවීම් සඳහා කැප කළා. මයිකල් මෙම උග්‍ර පුහුණුව සිදු කරන්නේ වයස අවුරුදු හතේ අටේ වගේ ඉතා කුඩා කලක සිටයි. මයිකල්ගේ අසීමිත පුහුණුව ගැන වරක් මාධ්‍යවේදිනියක් කුතුහලයෙන් ප්‍රශ්න කළා.

"ඔබ ලොව සිටින ජනප්‍රියතම ගායකයා. ඔබගේ පොඩි පොඩි වෙනස්කම් ප්‍රේක්ෂකයන්ට ඇත්තටම දැනෙන්නේ නැහැ. ඉතින් ඇයි ඔබ තවමත් මේ තරම් මහන්සි වෙලා පුහුණු වෙන්නේ. ඇත්තටම ඔබට මෙහෙම පුහුණුවීම් කරලා එපා වෙන්නේ නැද්ද? " ඇය ඇහුවා.

"මම එක දවසක් පුහුණු වුයේ නැත්නම් අනෙත් දවසේ මට ඒ වෙනස හොඳින් දැනෙනවා. මම දවස් තුන හතරක් පුහුණු වුණේ නැත්නම් ඒ වෙනස මගේ කණ්ඩායමට හොඳින් දැනෙයි. මම සති දෙක තුනක් පුහුණු වුණේ නැත්නම් මුළු ලෝකයම ඒ වෙනස දැනගනියි. එතකොට මුළු ලෝකයටම මාව ඇත්තටම එපා වෙයි. එම නිසා මට පුහුණුවීම එපා වෙන්නේ නනෑ. මොකද මම බයයි මිනිස්සුන්ට මාව එපා වෙනවාට." මයිකල් ජැක්සන් ඇයට පුහුණුවේ ඇති වැදගත්කම පැහැදිලි කළා. බොහෝ දෙනා ජයග්‍රහණය සහ සාර්ථකත්වය ලබා ගන්න ඉතාම කැමැතියි. එහෙත් ජයග්‍රහණය ලබන්න නම් මෙන්න මේ දේවල් තමාගේ ජීවිතයේ පුරුද්දක් වෙන තුරුම කැපවීමෙන් කරන්න නියම කළොත් කීයෙන් කී දෙනාද එහෙම දේවල් කැපවීමෙන් කියපු විදියට කරන්නේ. ජයග්‍රහණය ලැබෙන්නේ වචන හෝ ප්‍රාර්ථනාවලින් නොවෙයි. ඔබට ජීවිතය තුළ සැබෑ දිනුමක් අවශ්‍ය නම් ඔබ ඒ වෙනුවෙන් අසීමිතවම පුහුණු විය යුතුයි. මයිකල් ජැක්සන්ගේ සිට කුමාර් සංගක්කාර දක්වාද ජයග්‍රහණයේ සැබෑ රහස එයයි. ලොව පූජනීය ක්‍රීඩකයෙක් ලෙස සලකන බොහොමඩ් අලි පුහුණුව ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.

"මම පුහුණුවෙන සෑම මිනිත්තුවකට වෛර කරනවා. මේ වේලාවේ ටිකක් දුක් විඳලා අභිමානයෙන් ඉන්න හිතන්න. පුහුණු වෙලා පුහුණුවෙලා මගේ හිතට තරහක් ඇතිවෙන වෙලාවක මම මටම එහෙම කියාගන්නවා. "

ලස්සන තද රිදුමෙනි බිහිවෙන්නේ

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

ලස්සන ළඟ කවියෙකි ගොළු වන්නේ

ලස්සන ළඟදියි කදුළුත් එන්නේ

ලස්සන ගැන මොන මිනිහද දන්නේ

ලස්සන තද රිදුමෙහි බිහි වන්නේ

 

විමලරත්න කුමාරගමගේ මහතා ඒ ලස්සනම ලස්සන කවිය ලස්සනට ලියන්නේ බොහොම කාලෙකට කලින්. එහෙත් එම කවිය අදත් පිච්ච මලක්. හරිම ලස්සනයි. ලස්සන මැද ඇයි කඳුළුයි රිදුමයි? ඔබගේ සිතට නෙවෙයි. ඔයාගේ හදවතට එම ප්‍රශ්නය සංවේදීව දැනිලා නැද්ද?. බොහෝ ලස්සන දේවල්වල ආරම්භක ලක්ෂ්‍යය තියුණු වේදනාව. ලස්සන මැද තියෙන තද රිදුම ගැන මට මෙහෙම ලියන්න හිතුණේ 'ජේසුස් මැරීම' (Killing Jesus) නම් පර්යේෂණ ග්‍රන්ථය කියවීමෙන් පස්සෙ. බිල් ඔරිලි සහ මාර්ටින් ඩුගාර්ඩ් නම් ලේඛකයන් රචනා කළ විකුණුම් වාර්තා තැබූ එම කෘතිය පදනම් වෙලා තමයි Killing Jesus නම් සිනමාපටය බිහි වුණේ. ජේසුස් වහන්සේ කුරුසියේ තබා කුරිරු ලෙස ඝාතනය කිරීමේ කතාව බොහෝ දෙනා දන්නවා. නමුත් උන්වහන්සේ ජීවත් වූ සමයේ රෝම පාලනයත්, ජෙරුසලමයේ දේවස්ථානයේ පාලනයත් එහි ප්‍රාදේශීය පාලනයත් එකතුවෙලා නසරාත්හි ජේසුස් නම් ප්‍රභාෂ්වර පෞරුෂයකින් හෙබි තරුණයා වැරැදිකරුවා බවට පත් කරන්න මෙහෙයවන ලද රහසිගත කූඨ දේශපාලන උපක්‍රම කෘතිය තුළ සිත්ගන්නා ලෙස සහ පර්යේෂණාත්මකව හෙළි කරනවා. එම නිසා එය හුදු දේව භක්තියෙන් ලියන කෘතියකට එහා ගිය යමක් ප්‍රායෝගිකව පෙන්වනවා. මිනිසුන්ගේ නොමඳ ආකර්ෂණය දිනාගෙන හිටිය උන්වහන්සේ ජෙරුසලමේ අනාගත රජු වෙයි යන බිය පාලකයන් තුළ ඇති වීම ඔහු සාහසික ලෙස මරුමුවට පත් කරන්න මූලිකම් හේතුවක් වුණා. එම නිසා තමයි උන්වහන්සේ කුරුසියේ තබා ඇණ ගහන්න පෙර රජ ඔටුන්න වෙනුවට කටු ඔටුන්නක් පලඳවන්නේ. එසේම කුරුසයේ ඉහළම INRI ලෙස සඳහන් පුවරුවක් එල්ලන්න එවකට ජෙරුසලම භාර රෝම පාලක ප්‍රොන්තියස් පයිලට් තීරණය කරනවා. එහි දිගු තේරුම ''නසාරෙත්හි ජේසුස් යුදෙව්වන්ගේ රජු'' යන්න.

'යුදෙව්වන්ගේ රජු වෙන්න ගිය මිනිහාව වුණ දේ මෙන්න බලාපල්ලා' ලෙස ජනයාට පෙන්වීම එම පුවරුව සවි කිරීමේ සැඟවුණු අරුත වුණා. ජාති, ආගම් භේදයකින් තොරව උන්වහන්සේ පිළිබඳ අප අධ්‍යයන කළ යුතු වන්නේ උන්වහන්සේ වින්ද තද රිදුමෙන් අපට ඉගෙන ගන්න බොහෝ දේ තියෙන නිසයි. එහෙත් එම තද රිදුම ඉතාම ලස්සන වෙන්නේ උන්වහන්සේ අවසානයට කියන වාක්‍ය හතෙන් අර පුවරුව සවි කරන්න ගිය සෙබළාට උන්වහන්සේ අහස දෙස බලාගෙන මුමුනන්න යමක් යාන්තමට වගේ ඇහුණා. ඔහු එම පුවරුව එල්ලලා පහළට ආවාට පස්සේ ඈත සිට ජේසුස් වහන්සේගේ අභිනයන් දැක්ක කෲර රෝම උසස් හමුදා නිලධාරියෙක් සෙබළාගෙන් මෙහෙම අහනවා. ''ඔහු අපට නොසෑහෙන්න ශාප කළාද''

''නැහැ. ඔහු කාව්වත් ශාප කළේ නැහැ. " සෙබළාගේ මුව මත සටහන්ව තිබුණේ අසීමිත දුකක්.

"එහෙනම් ඔහු අර මොකක්ද කිව්වේ"

"ඔහු ඔහුගේ දෙවින්ගෙන් අපට සමාව දෙන්න කියලා ඉල්ලමක් කළා. " උසස් කෲර නිලධාරියාගේ හිත තුළ පැනනැඟුණේ නොවිසඳෙන ප්‍රශ්නයක සේයාවක්. මිනිහෙක්ට එහෙම සමාවක් දෙන්න පුළුවන්ද? තද රිදුමක් දැනෙන මොහොතක රිදුම් දෙන්නාට වෛර කරන සිතින් අවලස්සන දේවල් දහසක් බිහි වෙනකොට එවැනි කාරුණික ඉල්ලීමක් අහස දිහා බලාගෙන කරන මිනිසාට කෙතරම් ලස්සන හිතක් තියෙන්න ඕනද?

"දෙවියන් වහන්ස, ඔවුන්ට සමාව දෙනු මැනවි. ඔවුන් කරන දේ ඔවුහු නොදනිති"

ඒ ජේසුස් වහන්සේ මියයන්නට අවසානයට පෙර කියන වාක්‍ය හතෙන් දෙවැනි වාක්‍යය .උන්වහන්සේ කල්වාරි කන්දේ සිට බොද වුණ දෙනෙතින් ඈත නගරය දෙස බලාගෙන අවසානයටම කියන්නේ "එය අවසානයි (it is finished) කියන වදන් පෙළ. ඒ ජේසුස් වහන්සේගේ මුවින් පිට වෙන හත්වැනි අවසානම වාක්‍යය. මේ ලෝකයට ඔහු පැමිණි කාර්යය අවසාන කළ බව එයින් දන්වනවා.

මිතුරෝ සතුරෝ වන විට, පෙම්වතියන් වෙනස් වන විට, මවුපියන් අවවාද කරන විට පපුවට පිහි බැස්සවීමට තරම් සාහසික අදහස් එන සිත්වලට ජේසුස් වහන්සේ කදිම ආදර්ශයක්. බොහෝ දෙනා එකතුවෙලා දස වධ දෙද්දී මිතුරාට මෙන්ම සතුරාවද ප්‍රේම කරන්න කියලා උන්වහන්සේ තම සගයන් වන සයිමන්, ජේම්ස් වගේ පිරිස් සමග නසාරෙත්හි වීදි පුරා සැරිසරමින් එහෙම කියද්දී 'ඔබගේ ප්‍රකාශ මිනිස්සු දුර්වල කරනවා' කියලා මුලින් මුලින් බොහෝදෙනා ඔවුන් ප්‍රතික්ෂේප කළා. ආගමෙන් තම ජීවිතය පෝෂණය කර ගන්නවා වෙනුවට ආගම් තමාගේ කරගෙන එය පෝෂණය කරන්න වෙර දරන නිසා අද බොහෝ ආගම් වසරේ සෘතුවලට සීමා වුණ වසන්ත සැණකෙළි වෙලා. එහෙත් එම ආගම් ලොවට දායාද කළ බොහෝ නායකයන් වින්ද රිදුම් තමයි පසු කාලීනව ජීවිත බිලියන ගණනක් ලස්සන කළේ. සිද්ධාර්ථ කුමාරයා රජ පවුල වගේම ධනය බලය යන සියල්ල අතහැරලා වසර හතක් නොකා නොබී වනයකට වෙලා ගත කළ දුෂ්කරක් ක්‍රියාවේ රිදුමත්, නසාරෙත්හි නිහතමානී වඩුවෙක් ලෙස තාරුණ්‍යය ඇරැඹූ ජේසුස් වහන්සේ කුරුසියේ කියලා ඇණ ගහලා කටු ඔටුන්නකුත් පලඳවලා මරණයට පත් කළ රිදුමත් අවසානයේ ලොවට බිහි කළ ධර්මය කෙතරම් ලස්සනද? ඉතින් 'ලස්සන තද රිදුමේනි ටිහි වන්නේ' ලෙස විමලරත්න කුමාරගම මහත්මයා කියන ප්‍රකාශයට අපට 100%ක් එකග වෙන්න සිදුවෙනවා නේද? තද රිදුමකට ජීවිතය ලස්සන කරන්න පුළුවන්. එය විශ්වාස කරන්න.

සොක්‍රටීස් ගෝලයන් තෝරපු හැටි

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

සොක්‍රටීස් කියන්නේ මෙලොව ජීවත් වුණ සුවිශේෂතම මිනිසෙක්. බුද්ධිමත් බව සහ සත්ගුණවත් බව කියන සාධක දෙකම මිනිසකු තුළ තිබිය යුතුයි කියන සාධකයේ සිට ලොවට දැවැන්ත දැනුමක් ලබා දුන්න සුවිශේෂ බුද්ධිමතෙක්. අරුමේ කිම වදවෙන හිරු සදිසි මිනිස්සු ලෙස අර ගීතයකත් සඳහන් වෙනවා වගේම සොක්‍රටීස්ද ඝාතනය කරලා මරා දමනවා. තරුණයන් නොමඟ යවනසුලු දැනුම බෙදා දෙනවා කියන මූලික වරදට අනුව කැලෑ නීතිය අනුව වරදකරුවෙක් බවට පත්කර හැම්ලොක් නම් වස වර්ගය පානය කරන්න සැලැස්සවීමෙන් ඔහු මරණයට පත්කරනවා.

"ඔබට හොඳ බිරියක් ලැබුණොත් ඔබ සතුටු වෙයි. එහෙත් ඔබට වදක බිරියක් ලැබුණොත් ඔබ දර්ශනිකයෙක් වෙයි" කියන වදන කිව්වෙත් සොක්‍රටීස් තමයි. මරණ මංචකයේ දී පවා සිත සතුටින් මිනිස් ජීවිතය තුළ ලැබෙන හොඳම ආශීර්වාදය මරණය බව ඔහු පැවසුවා. සොක්‍රටීස් එකල ග්‍රීසියේ ජීවත් වුණ අතිවිශිෂ්ටම බුද්ධිමතා නිසා ඔහුගේ ශිෂ්‍යයෙක් වීම ලෙහෙසි නැහැ. එම නිසා ඔහු යටතේ ඉගෙන ගන්න කෙනෙක් ඇතුළු කර ගන්නේ කිසියම් පරීක්ෂණයකින් පස්සේ දැන් කාලේ වගේ කටපාඩම් පරීක්ෂණවලින් නොවෙයි ඔහු ශිෂ්‍යයන් තෝරාගත්තේ. ඒවා හදිසි ප්‍රායෝගික පරීක්ෂණ වුණා. දවසක් සොක්‍රටීස් ශිෂ්‍යයන් කිහිප දෙනෙකු ප්‍රායෝගික පරීක්ෂණයට ලක් කළා. ඔහු මේ නවකයන්ට කරන්න කිව්වේ ඉතාම සරල දෙයක්.


"අර පොකුණ දිහා බලාගෙන ඉඳලා ඔබට පෙනෙන දේ මට රහසින් කියන්න. ඒ වගේම ඔබට පෙනෙන දේ ඔබ අනෙකාට නොකියන්න. " ඔහු ශිෂ්‍යයන්ට කිව්වා.

ඉතිං එක් එක් ශිෂ්‍යයා පොකුණ දෙස ඉතා වුවමනාවෙන් බලාගෙන ඉඳලා ඔවුන් දුටු දේ සොක්‍රටීස්ට රහසින් කිව්වා. සොක්‍රටීස්ගේ මෙම පරීක්ෂණය දිහා ඔහුගේ පරණ ගෝලයෙක් බලාගෙන හිටියා. එහෙත් ඔහුට මොකුත් තේරුණේ නැහැ.

"ඔබතුමා කොහොමද ශිෂ්‍යයන් තෝරාගත්තේ" පැරැණි ගෝලයා රහසින් වගේ ළංවෙලා ඇහුවා.

"විල දිහා බලලා එහි මාළුවන් දැක්කා කියලා කිව්ව අය මම තෝරාගත්තා. සොක්‍රටීස් කිවා.

"එතකොට ඔබ තෝරා නොගත්තේ කවුද? "

"විල දිහා බලලා තමාගේ රූපය දැක්කා කිව්ව අය මම තෝරාගත්තේ නැහැ. සොක්‍රටීස් සන්සුන්ව කිව්වා.

"ඇයි" ඔහු පුදුම වෙලා ඇහුවා.

"තමාගේ රූපයට සහ මමත්වයට අසීමිතව ආදරය කරන ශිෂ්‍යයන්ගෙන් මට වැඩක් නැහැ. ඔවුන් ආත්මාර්ථකාමීයි. එසේම ඔවුන් ජීවිතය තුළ කිසිම නව අත්දැකීමක් ලබන්න පෙලඹෙන්නේ නැහැ. සොක්‍රටීස් කිව්වා.

තමාගේ රූපයට ඕනෑම කෙනෙක් කිසියම් තරමක් දුරට ආදරය කළ යුතුයි. එහෙත් තම රූපයට අසීමිතව ආදරය කිරීම සහ ආශා කිරීම ස්වරූපරාගය (Narcissism) ලෙස හඳුන්වනවා. ස්වරූපරාගය යනු තම රූපයට තමා අසීමිතව දක්වන කැමැත්තයි. (Excessive interest in or admiration of oneself and one's physical appearance)

තම රූපයට ඕනෑම මනුෂ්‍යයෙක් කැමැත්තක් සහ ආශාවක් දැක්විය යුතු අතර එසේ නොවුණහොත් ඔහුගේ හෝ ඇයගේ පැවැත්මට එය ඉතාම හානිදායකයි. එහෙත් කිසියම් කෙනෙක් ඕනෑවට වඩා තමාගේ රූපයට කැමැත්තක් සහ අසීමිත රාගයක් දක්වන්නේ නම් එය මනසේ අඳුරු ස්වරූපයක් බව මනෝ විශ්ලේෂකයන් පවසනවා. තමාගේ රූපය දිහා බොහෝ වෙලාවක් බලාගෙන සිටීම. තමා අතිශයින්ම රූමත් යැයි හෝ කඩවසම් යැයි සිතීම. තමා බොහොම අභිමානවත් පුද්ගලයෙක් යැයි නිතර සිතීම මෙහි ලක්ෂණ වශයෙන් දක්වන්න පුළුවන්. වත්මනේදී වැඩි වැඩියෙන් තමාගේ පින්තූරය තමාම රැගෙන රස විඳීම ස්වරූපරාගය පිළිබිඹු වෙන තවත් ප්‍රමුඛ ගු ලක්ෂණයක්. තමාගේ පින්තූරය තමාම ගැනීමේ සෙල්ෆි ඡායාරූප මෙලෙස ජනප්‍රිය වුණේ මිනිසුන් දිනෙන් දින ස්වරූපරාගයට තව තවත් ඇබ්බැහි කරමින්. පැයකට වැඩි සෙල්ෆි ඡායාරූප ප්‍රමාණයක් ගන්නේ නම් එය පැහැදිලිවම් ස්වරූපරාගය බව මනෝවිද්‍යාඥයන් දැනටමත් තහවුරු කර අවසන්. ස්වරූපරාගය පිළිබඳ සංකල්පය මුලින්ම කරළියට ගෙනාවේ සිග්මන් ප්‍රොයිඩ් වන අතර එය සැබැවින්ම මානසික විකෘතිතාවක් බව ප්‍රොයිඩ් පවසනවා.

ස්වරූපරාගයෙන් පෙළෙන පුද්ගලයින්ට ජීවිතයේ බොහෝ රසමුසු තැන් ගවේෂණය කරන්න ලැබෙන්නේ නැහැ. මන්දයත් ඔවුන් මමත්වය නම් අදුරු සළුවෙන් වැසිලා ඉන්නේ. එම නිසා සොක්‍රටීස් පවා එම වර්ගයේ ශිෂ්‍යයන් ප්‍රතික්ෂේප කළා.

දුරකථනය අතට ගන්න වාර ගණන අඩුකරන්න

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

උදවු කරනවා වෙනුවට වීඩියෝ කරන්න සහ ඡායාරූප ගැනීමට ඇබ්බැහි වුණ සමාජයක අප ජීවත්වන නිසා කිසියම් කරදරයක් වුණ අවස්ථාවක උදවු කරන්න කෙනෙක් නැතත් වීඩියෝ කරන්න නම් බොහෝ පිරිසක් ඉඳියි. දෛනික ජීවිතය තුළ තමාගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් කෙළින් කියන්න ඕන දේවල් කෙළින් නොකියා චක්‍රව කියන්නත්, මිනිස්සු සනසන්නවත්, නළවන්නත් කෙටි පණිවුඩ යවමින්ද කතා කරමින්ද බොහෝ දෙනා ජංගම දුරකතනය සමඟම කාලය ගත කරන නිසා අනතුරක් සිද්ධ වුණ වෙලාවක දැන් කාගෙත් අත යන්නේ ජංගම දුරකතනය වෙතයි. එවැනි අවස්ථාවක බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ පළමුව උදවු කරන්න නෙවෙයි, පළමුවෙන්ම වීඩියෝ කර අන්තර්ජාලයට මුසු කිරීමටයි. ඔබට අවශ්‍ය රහසින් වීඩියෝ කරන්නෙක් වෙන්නද? එහෙම නැත්නම් හදවතින් උදවු කරන මනුෂ්‍යයෙක් වෙන්නද?


කෙවින් කාටර් කියන්නේ ඔහේ ඕනෑවට එපාවට කැමරාවක් අතට ගත්ත නිසා ඡායාරූප ගත්ත මිනිහෙක් නෙවෙයි. ලොව බිහිවුණ ජනප්‍රියතම ගවේෂණාත්මක ඡායාරූප ශිල්පියෙක් කෙවින් කාටර්ගේ කතාව ඇත්තටම ජීවිතය කෙසේ වෙතත් ඔබ හිතන විදිය අංශක 180කින් වෙනස් කරයි. කෙවින් කාටර් වගේම දක්ෂ යාළුවෝ හතරක් හිටියා. එනම් Greg Marinovich, Ken Oosterbroek ese Joao Silva. මේ හතර දෙනාගේ එකතුව ඔවුන් හැඳින්නුවේ Band Bang Club ලෙසයි. ඇත්තටම මේ හතර දෙනාම සූරයෝ වගේ තමයි. මොවුන් හතර දෙනා පිළිබඳ සිනමාපටයක්ද The Bang Bang Club නමින් නිර්මාණය වුණා. කතාව ඕක නෙවෙයි. කතාව මේකයි. අද 180 ලිපියේ ඡායාරූපයක් ඔබට දකින්න ලැබෙනවා. එහි සාගතයෙන් පෙළෙන කුඩා දැරියක් හිමින් හිමින් ඉදිරියට ඇදෙනවා. එසේම දැරියට පිටුපසින් අප්‍රිකානු රටවල ජීවත්වන දරුණු ගිජුලිහිණියෙක් ඉන්නවා. දැරිය ගමන් කරන්නේ කොහෙටද? කෙවින් මේ දසුන 1993 මාර්තු මාසයේ දවසකදී කැමරා කාචයට හසුකර ගත්තේ සුඩානයේ සංචාරයක යෙදෙන විටයි. දැරිය ගමන් කරන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර ලබාදෙන ස්ථානයක් වෙතයි. කෙවින් කාටර් හමුදා බට පිරිසකගේ ආරක්ෂාව යටතේ ගිය නිසා ඔහුට දැරියට උදවු කරන්න ලැබෙන්නේ නැහැ. අනික ගවේෂණාත්මක ඡායාරූප ශිල්පීන්ට මෙවැනි සිදුවීම් නිතරම නෙත ගැටෙනවා. එම නිසා ලොකු කියැවෙන එම පින්තූරය ගත්තත් ඔහුට දැරියට උදවු කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ හෝ ඔහු මෙම ඡායාරූපය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අලෙවි කරනවා. එම ඡායාරූපය පළ කිරීමෙන් අනතුරුව ටයිම්ස් පුවත්පතට දුරකතන ඇමැතුම් ලිපි දහස් ගණනක් ආවා. ඒ සෑම ලිපියකම තිබුණේ එකම ප්‍රශ්නයයි. එනම් ආහාර සොයාගෙන යන දැරියට මොකද වුණේ?

1994දී කෙවින් කාටර් සුඩානයේ පවතින සමස්ත දුගී බව එක රූපයකට ගැනීම නිසා එම ඡායාරූපය උදෙසා විශිෂ්ට පුලිට්සර් ත්‍යාගයක් දිනාගන්නවා. එහෙත් ඊට මාස තුනකට පමණ පසුව වයස 38 වන කෙවින් කාටර් සියදිවි නසා ගන්නවා. ඔහු සියදිවි නසා ගන්න පෙර මෙහෙම සටහනක් තබනවා. "මට ගොඩාක් කනගාටුයි. ජීවිතයේ වේදනාව සතුට ඉක්මවා ගියාම තවදුරටත් ජීවිතය තුළ සතුට පවතින්නේ නැහැ. හැමදේටම සල්ලි.. ණය ගෙවන්න සල්ලි... සල්ලි සල්ලි මේ ලෝකයේ හැම දෙයටම සල්ලි. මම ගොඩාක් මතක හඹා ගිය කෙනෙක්. මළමිනී, තුවාල වුණ දරුවෝ, පිස්සු මිනිස්සු, පොලිසිය, දරුණු ගැටුම් ඇතුළු තවත් ගොඩාක් අමිහිරි මිහිරි මතක. මට කෙන් ළඟට යන්න පුළුවන් නම් මම වාසනාවන්තයි ". එහි කෙන් යනු ඊට මාස තුනකට පෙර වෙඩි වැදීමකින් ඝාතනය වුණ ඔහුගේ ඡායාරූප කණ්ඩායමේ යහළුවායි.

කෙවින් කාටර් සියදිවි නසා ගැනීමක් වෙත පොලඹවන්නේ ඔහුම රැස්කළ අමිහිරි මතක ගැන හිතලා හිතලාම ඇති වුණ විශාද තත්ත්වයයි. කෙවින් දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වෙලා ලෝකයේ බොහෝ දෙනෙක්ට බොහෝ දේ පෙන්නලා දුන්නා. එහෙත් ඔහු ඒ බොහෝ මතකවල සාක්ෂිකාරයා වුණා මිසක උදවුකාරයා වෙන්න බැරි වුණා. කෙනෙක් වැටුණාම ඔහු හෝ ඇය වීඩියෝ කරන්නේ නැතිව ඔහුට අත දෙන්න පුරුදු වෙන්න. මිනිසුන්ගේ තරහ, ආවේගයන්, කදුළු සහ මෝඩකම් එකතු කරන සාක්ෂිකාරයෙක් වෙනවාට වඩා ඒවා තුළින් ජීවිත පාඩම් ඉගෙන ගන්න මනුෂ්‍යයෙක් වීම ඉතා වටිනවා.

මිතුරුකම් සහ සම්බන්ධතා පවත්වන්න නිරන්තර කෙටි පණිවුඩ සහ දුරකතන ඇමැතුම් ඇත්තටම අවශ්‍ය නැහැ. සමාගම්වල අලෙව්කරණ උපක්‍රමවලට අහුවෙලා තියෙන නිසා ජංගම දුරකතනයෙන් තොර ලොවක් නැති තරමටම මිනිස් ජීවිත පටු වෙලා. ජංගම දුරකතනය පැත්තකට විසි කරලා පරිසරය සහ තමන්ගේම මනස සමඟ විනාඩි 10ක් ඔබ සමාධිගත වුවහොත් බොහෝ සැනසුමක් ජීවිතයට ළඟාකරගන්න පුළුවන්.

ඔබගේ ජංගම දුරකතනය අතට ගන්න වාර ගණන අඩු කරන්න. එහෙම වුණාම පිරිසක් තරහ වෙයි ගණන් ගන්න එපා. යහළුකම් පවත්වාගෙන යන්න නිතරම කතා කරන්න අවශ්‍ය නැහැ.

වැල්ලට ගහගෙන එන රත්තරන් පාට මාළු

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

දවසක් සංචාරකයෙක් හිරුරැස් ආදරයෙන් වැල්ලට හාදු දෙන කහපාට වෙරළ තීරයක් දිගේ ඇවිදගෙන යනකොට ඉතා විස්මිත දර්ශනයක් ඈත තියලාම දැක්කා හරිම පුදුමයි. රත්තරන් පාට කුඩා කුඩා මාළු දහස් ගණනක් වෙරළට ගසාගෙන ඇවිත්. ඔයාට රත්තරන් මාළු මතක් කරගන්න අමාරු නම් ඔය විසිතුරු මාළු ටැංකිවල ඉන්න ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් හෝ සිල්වර් ෂොප් වගේ විසිතුරු මත්ස්‍යයෙක් මතක් කරගන්න. කොහොම හරි මාළු දහස් ගණනනක් වැලි මත දඟලමින් ජීවිතය බේරගන්න ලොකු සටනක් කරනවා. පෙරදා රාත්‍රියේ මුහුදේ ඇතිවුණු දැවැන්ත කැළඹීම නිසා මේ ආකාරයට මාළු දහස් ගණනක් වෙරළට ගසාගෙන එන්න ඇති කිලා සංචාරකයා හිතුවා. මේ මාළුවන් සියල්ලම බේරාගන්න තමන්ට කළ හැකි දෙයක් ප්‍රායෝගිකව නැති බව හිතුණ නිසා සංචාරකයා එම ශෝකජනක දර්ශනය තවත් බැලන්න බැරිම තැන ආපසු හැරිලා යන්න ගියා.


එහෙම යන්න ගිය ඔහු ඈත සිටින වයස අවුරුදු 13ක විතර ළමයෙක් කරන අපූරු දෙයක් වෙතට තම අවධානය යොමු කළා. මේ ළමයා වෙරළේ රන්වන් පැහැ වැලි මත ජීවිතය ඉල්ලමින් උඩ පනින මාළුවන් එක එකා අරගෙන යළිත් මුහුදට විසි කරනවා. වෙරළට ගසාගෙන ආව මාළු දහස් ගණනකගේ ජීවිතය මෙහෙම බේරීම ප්‍රායෝගික නැති බව සංචරකයා හිතුවා. ඔහු සෙමින් සෙමින් මාළුන්ගේ ජීවිත බේරාගන්න උත්සාහ කරන ළමයා වෙතට ළංවුණා.

"ඔයාට මේමාළු සේරමගේ ජීවිතය ඔය විදිහට බේර ගන්න බැහැනෙ. ඒක නිසා ඔයා කරනදේ තේරුමක් නැහැ කියලා යාට හිතෙන්නේ නැද්ද " සංචාරකයා කිව්වා. මද සිනහවක් පෑව පුංචි ළමයා හරි අපුරු උත්තරයක් දුන්නා.

"මම කරන වැඩෙන් මේ මාළු සේරමගේ ජීවිතය වෙනස් වෙන්නේ නැතිවෙයි. නමුත් මේ මාළුවාගේ ජීවිතේ වෙනස් වෙනවා." ඔහු එහෙම පවසමින් අතට ගත්ත මාළුවා සංචාරකයාට පෙන්නලා ඈත මුහුදට විසිකළා.

ඔහු පැවසූ දෙය හරියටම හරි කියලා තේරුම් ගත්ත සංචාරකයාද එක මාළුවකුගේ හරි ජීවිතය වෙනස් කරන්න හිතාගෙන පුංචි ළමයාත් සමඟ එකතු වෙලා රන්වන් පැහැති මාළු හරි හරියට මුහුදට විසි කළා. ඔවුන් දෙදෙනා පැයක් දෙකක් යන තුරුම එහෙම වැල්ලේ පණ අදින මාළු විසිකළා. එහෙත් තවත් මාළු දහස් ගණනක් වෙරළ මත මිය යමින් සිටියා. නමුත් ඔවුන් දෙදෙනා මාළු සුළු සංඛ්‍යාවකගේ හෝ ජීවිතය වෙනස් කළා.

සමහරු සමහර දේවල් ගැන මහා ලොකුවට හිතනවා. රට දැය වෙනුවෙන් සැබෑවටම හඬ නඟන දේශපාලනඥයන්ට සමහර මිනිසුන් ප්‍රායෝගික නැති චරිත කියලා බනිනවා. නමුත් අපි කරන පුංචි දෙයක් නිසා සමහර වෙලාවට බහුතරයකගේ ජීවිත වෙනස් නොවුණත් සුළු පිරිසකගේ හෝ ජීවිත වෙනස් වෙන්න පුළුවන්. අර මුහුදට ගසාගෙන ආව මාළු දහස් ගණන අතරෙන් මුහුදට යළිත් විසිකළ මාළුවන් කිහිප දෙනාගේ ජීවිත කොයිතරම් දුරකට වෙනස් වෙන්න ඇතිද කියලා ටිකක් හිතන්න. ඔවුන් අහම්බෙන් හරි මුහුදට විසි නොකළා නම් උන්ට අත්වෙන ඉරණම ශෝචනීයයි. අන්න ඒ වගේම ඔබ කරන යහපත් දේවල් දිහා බලාගෙන ඉන්න සමහරු "තේරුමක් නැති දේවල් කරන්න එපා. උඹට පුළුවන්ද ලෝකේ වෙනස් කරන්න" කියලා අහන්න පුළුවන්. නමුත් ඒවාට කවදාවත් සැලෙන්න එපා. ඔබගේ ක්‍රියාවෙන් සහ වචනයෙන් ලෝකයම වෙනස් නොවුණත් මේ ලෝකයේ එක කෙනෙක් හරි වෙනස් වෙයි. එම සුළු වෙනස ජීවිත කාලයම ඔබට සතුටු වෙන්න හොඳටම ප්‍රමාණවත්.

මම පෞද්ගලිකව Face book, Twitter, Gmail, Yahoo, Youtube කියන නවීන අන්තර්ජාල පහසුකම් නිතරම් භාවිත කරනවා. ඒ වගේම මම සේවය කරන ආයතනයේ සාර්ථකත්වයටත් ඒවා හිතරම යොදාගන්නවා. නමුත් සයිබර් මෙවලම් වේගයෙන් වර්ධනය වන මේ කාලයේදී ශ්‍රී ලාංකික තරුණ පරපුර යළිත් පොත් කියවීමට හුරු කරන්නත් අපි කටයුතු කරනවා. සයිබර් අවකාශය සමඟ ඉන්න ඇල්ෆා පරම්පරාව (Generation Alfa and Generetion Y) තරුණ පරපුර යළිත් නවකතාවට සහ කවියට හුරු කිරීම ප්‍රායෝගික දෙයක් නෙවෙයි කියලා සමහරු අපට කියනවා. නමුත් මතුයම් දවසක 90%ක් දෙනා නව කතාව, කවිය සමස්තයක් ලෙසට අමතක කළත් තවත් 10%ක් දෙනා එය අමතක නොකරන්න පුළුවන්. එම 10% අපට වැදගත් අපි ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්න කටයුතු කළ යුතුයි. එවිට ඔවුන් තවත් බොහෝ දෙනකුගේ ජීවිත වෙනස් කරයි.

සමහර ලේඛකයෝ, ගායකයෝ, නළුවෝ බහුතරය කැමැති වුණත් රසවින්දනයෙන් සහ කලාත්මක බවින් අඩු නිර්මාණ කරන්නේ නැහැ. ඔවුන්ටත් බහුතරය පිළිගත් රැල්ලේ නිර්මාණ කරන්න පහසුවෙන් කරන්න පුළුවන්. නමුත් බහුතරයට හුදු ආතල් එකක් දෙනවාට වඩා මිනිස් ජීවිත ස්වල්පයක හෝ සැබෑවද වෙනසක් ඇති කිරීමට ඔවුන් උත්සාහ ගන්නවා. ලියනාඩෝ ඩිකැප්රියෝ අතිශය ජනප්‍රිය තරුවක් වුණත් ඔහු සම්බන්ධ වෙන්නේ මිනිස් ජීවිතයේ හරස් කඩක් පෙන්වන විශිෂ්ට නිර්මාණවලට පමණයි. එම නිසාම තමයි අමිතාබ් බච්චන් පවා විශ්වයේ දැනට සිටින විශිෂ්ටතම නළුවා වශයෙන් ලියනාඩෝ ඩිකැප්රියෝ හඳුන්වන්නෙත්. අන්න ඒ වගේ තම ජීවිතයත් වෙනස් කරගන්න ගමන් තවත් ජීවිත කිහිපයක් හෝ මැරෙන්න කලින් යහපත් ආකාරයට වෙනස් කරන්න පොඩ්ඩක් උත්සාහයක් ගනිමු.

අනුන්ගේ බිස්කට් කාපු කෙනෙක්ද ඔයත් ?

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

ඇය එදා ගුවන් තොටුපොළට ආවේ ඕස්ට්‍රේලියාවේ යන්න. තරමක් රූමත් නිසා ඇය තරමට වඩා ආඩම්බරයි කියලා කෙනෙක්ට මුලින්ම හිතෙන්නත් පුළුවන්. එහෙත් ඇය කොහොම කෙනෙක් ද කියලා ඔයයි මමයි තාම දන්නේ නෑ. ඒක නිසා අපි දෙන්නට ඇය ගැන මුකුත් දැන්ම කියන්න බෑ. අපි ටිකක් ඉවසමු. මොනවා වුණත් ඇය පොත් කියවන්න ආසයි කියලා නම් පෙනෙනවා. ඉතිං ඇය පොත කියවන ගමන් කන්න කුකීස් බිස්කට් පැකට් එකක් මිලට අරගෙන අත් බෑගයට දා ගත්තා. ඒ අත් බෑගය හරි ලස්සනයි. නිකං පුංචි සරුංගලයක් වගෙයි. ඇය ඇඳන් හිටියෙත් පිරිමි නෙත් ක්ෂණිකව ආකර්ෂණය කරන කෙටි එහෙත් ලස්සනම ගවුමක්. ඉතිං ඇය පිටත් වෙන්න ඕන ගුවන් යානය පිටත් වෙන්න තවත් ටිකක් වෙලා තියෙන නිසා පොතක් කියවන්න පටන් ගත්තා. ඇය කියවන්නේ පාවුලෝ කොයියෝගේ මෑත කාලයේ ගොඩක් ජනප්‍රිය වුණු Adultery කියන කෘතිය.

ඇය පුටුවේ වාඩිවෙලා පොත කියවන්න පටන්ගත්තා. ටික වෙලාවකින් ඇයගේ පුටුවේ එහා කොනේ වයස අවුරුදු පනහක් පමණ වන පිරිමි කෙනෙක් ඇවිත් වාඩි වුණා. ඔහු පාඩුවේ ව්‍යාපාරික සඟරාවක් කියවන්න වුණා. ඔවුන් දෙදෙනා අතර හිදැස පිරුණේ කුනීස් බිස්කට් පැකට් එකෙන්. දැන් ඔයත් කතාව ගැන අමතක කරලා කුකිස් මතක් කරගන්න නම් එපා. ඉතිං ඇය පොත කියවන ගමන් බිස්කට් කන්න පටන්ගත්තා. ඇය පැකැට්ටුවෙන් බිස්කට් එකක් ගන්න විටම අර මහත්මයත් එතැනින් එක බිස්කට් එකක් අරගෙන කන්න පටන්ගත්තා. ටිකක් වෙලා යද්දී තමයි ඇයට මේක වැටහුණේ. ඇයට තරහා ගියා. ඇය ඔහු දිහා ඔරවලා බැලුවා. එහෙත් ඔහු පාඩුවේ සඟරාව කියවනවා. සඟරාවේ පිටකවරය සැරසුණේ ඇපල් සමාගමේ වත්මන් විධායක නිලධාරී ටිම් කුක්ගේ රුවින්.


ඇය බිස්කට් එකක් ගන්න විටම ඇයගේ පුටුවේ එහා කොහේ ඉන්න එක්කෙනත් බිස්කට් එකක් අරගෙන කන්න වුණා. ඇයගේ හිත තරහින් පුපුරු ගැසුවත් මේ වැඩේ පැකැට්ටුවේ තවත් එකම එක බිස්කට් එකක් පමණක් ඉතුරුවෙන තුරුම සිද්ධ වුණා.

"දැන් බලමුකෝ මේ මිනිහා අන්තිම බිස්කට් එකට මොකද කරන්නේ" ඇය එහෙම හිතුවා. ඔහු අන්තිම බිස්කට් එකත් බැරිවෙලාවත් ගත්තොත් අනුන්ගේ බිස්කට් කනවට හොඳවයින් දෙකක් කියන්න තමයි ඇය බලාගෙන හිටියේ. අන්න ඔහු අවසාන බිස්කට් එකත් අතට ගත්තා. ඉන්පසුව ටිකක් වෙලා කල්පනා කළා. ඇය ඔහුට බනින්න කට හදාගත්තා. සැර වචන ටිකක් ද මතක් කරගත්තා. එහෙත් ඔහු එම බිස්කට් එක දෙකට කඩලා ඇයට කොටසක් දුන්න නිසා ඇයගේ කෝපය නම් ගිනිකන්දට මහා අයිස් වැස්සක් කඩාහැලිලා එය සිසිල් වුණු නිසා ඇයගේ මුවින් වචනයක්වත් පිටවුණේ නෑ. ඇය එම කොටස එපා කියලා ඔහුටත් ගස්සාගෙන එතැනින් පිටත් වුණා. ඔහුගේ මුව මත මඳ සිනාවක් පමණක් රැඳිලා තිබුණා.

දිගු සංචාරයෙන් පස්සේ ඇය ඕස්ට්‍රේලියාවට ආවා. ඇය ඇයගේ හිතවතියගේ නිවෙසටත් ආවා. එතකොටයි ඇය දැක්කේ ඇයගේ බෑගය තුළ ඇය කන්න ගත්ත කුකීස් බිස්කට් පැකැට්ටුව ඉතාමත් ආරක්ෂාකාර්ව තියෙනවා. එතකොට අර ගුවන් තොටුපොළේදී අර මනුස්සයා කෑවේ කාගේ බිස්කට් එකද? ඇය එහෙම කල්පනා කළා. තමා ගත්ත බිස්කට් පැකැට්ටුව එහෙමම බෑගයට දා ගත්තා මිසක් ආයේ එළියට ගත්තේ නෑ නේද කියන කාරණය ඇයට මත්ක වුණා. ඇය පොත කියවන ගමන් හිටිය නිසා ඇයට ඒක සිහියට ආවේ නෑ. ඇය එකින් එක අරගෙන කෑවේ අර පුද්ගලයාගේ බිස්කට් පැකැට්ටුවෙන්. එම පුද්ගලයා තමාට වඩා කොයිතරම් මනුෂ්‍ය ගුණ දම්වලින් යුක්ත පුද්ගලයකු ද කියලා ඇයට දැනුණා. ඇය කළ දේ ගැන ඇයට දුක හිතුණා. එහෙත් සයුරට විසිකළ ගල් කැටයක් ආයේ ගන්න බැහැ වගේ මිනිස් සිතකින් නිකුත් වුණු වෛරය යළිත් ගන්න බැහැ. එහෙත් ඉදිරියට වෛරයේ ගල් විසිකරන එක නවත්වා ගන්න පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඉතිං සමහර වෙලාවට අපි ආයේ බිස්කට් කියලා හිතාගෙන අනුන්ගේ බිස්කට් රස කර කර කනවා. එහෙත් ඕනෑම බිස්කට් එකක් බෙදාගෙන කන එක නම් හරිම වටිනවා.

තට්ටු කළාට ඩොලර් 2යි

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

දැනුම කියන්නේ මේ විශ්වයේ තියෙන ඉතා වටිනාම සහ ඉතා විනාශකාරී සම්පත කියලා හඳුන්වන්න පුළුවන්. මිනිස්සු දහස් ගණනකගේ ජීවිත සුවපත් කරන බෙහෙත් සොයාගන්න උදව් වෙන දැනුමම තමයි මිනිස්සු ලක්ෂ ගණනකගේ ජීවිත තත්පරයෙන් විනාශ කරන්න සමත් න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනයටත් අවශ්‍ය වෙන්නේ. දැනුම එක් අන්තයන් දෙව්ලොවට ගමන් කරන විට එහි අනෙකුත් අන්තය අපාය දෙසට ගමන් කිරීම නවත්වන්න පුළුවන් වෙන්නෙත් දැනුමෙන් ස්වයං පෝෂිත මිනිසුන්ට පමණයි. කොහොම වුණත් දැනුම තමයි බලය කියන කාරණය ඊයේ වගේම හෙටත් වලංගුයි.

මෑත දිනයකදී මගේ උගත් මිත්‍රයෙක් පැවැසුවේ ලියනාඩෝ ඩාවින්චි සිතුවම් කළ මොනාලිසා චිත්‍රය මිල කළ නොහැකි සිතුවමක් ලෙස නම් කර සිටීම තේරුමක් නැති වැඩක් කියලා. නමුත් මම දිගින් දිගටම ඔවුත් සමඟ වාද කරමින් කිව්වේ නිර්මාණශීලීත්වය, දැනුම ආදී දෑවල මිල අමිල වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා කියලා. මට ඊට පිළිතුරු විදියට ඔහුට දැනුම ගැන සරල කතාවක් කිව්වා. හැබැයි ඒ කතාවෙන් පස්සේ මගේ යාළුවාගේ සිතිවිලි අංශක 180න් වෙනස් වුණ බව නම් පෙනුණා. මෙන්න ඒ කතාව.


දවසක් අති විශාල ප්‍රමාණයක වටිනා භාණ්ඩ තොගයක් රැගෙන ගමන් ආරම්භ කරන්න ගිය දැවැන්ත නැවක් වරායේ දීම එකපාරටම නැවතුණා. නැවේ කපිතාන් ඇතුළු සියලුම කාර්මිකයන් එක්ව නැවැත නැවැතත් ක්‍රියාත්මක කරන්න නොයෙක් නොයෙක් උත්සාහ කළත් පණ ඇද ඇඳ ඉන්න එන්ජිම මලානික ශබ්දයත් පිටකළේ "අනේ මට නම් කොහොමත් වැඩ කරන්න බැහැ කියනවා වගේ. නැවේ අසුරා තියෙන භාණ්ඩ තොග නිසි කාලයට බාර නොදුන්නොත් විශාල පාඩුවක් දරන්නට සිද්ධ වෙන නිසා කපිතාන්ට හින්දාඩිය දැම්මා. කපිතාන් ඔහුගේ ප්‍රධාන කාර්මිකයන්ට නැවත එන්ජිම කොහොම හරි පණගන්වන්න කිව්වත් ඔවුන් කිසිවකුට නැවේ එන්ජිම ක්‍රියාත්මක නොවීමට හේතුව සොයාගන්න බැරි වුණා.

මේ අතර නැව් අලුත්වැඩියාව කරන මහල්ලෙක් ළඟ පාත ඉන්නවා. එයාට කියලා බලමු කියලා එතෙන්ට ආව කෙනෙක් කපිතාන්ට කිව්වා. කපිතාන් වහාම ඔහු කැඳවාගෙන එන්න කියලා නිලධාරියෙක් යැව්වා. ටික වේලාවකින් වයස අවුරුදු 65ක විතර මහල්ලෙක් ලොකු ලෙදර් බෑග් එකකුත් අරගෙන ආවා. ඔහු මුලින්ම කළේ බෑග් එකේ තියෙන ආයුධ ඔක්කොම එළියට අරගෙන ඉතා පිළිවෙළට තියෙන එක. ඊට පස්සේ ඉතා සන්සුන්ව නැව් එන්ජිම පරීක්ෂා කළා. ඔහු කිසිවකුට කිසිවක් නොකී අතර වටේ පිටේ අය කියන කතා ද කිසිවක් අහන්නේ නැතිව එන්ජිම සූක්‍ෂමව පරික්ෂා කළා. ඔහු තවත් ටික වේලාවකට පස්සේ ඔහුගේ ආයුධ අතර තියෙන පුංචිම මිටිය අරගෙන එන්ජිමේ ඇණයකට කිහිපවරක් ගැහුවා. මිටියෙන් ඇණයට තැළීම නැවැත් වූ ඔහු එන්ජිම වටේට එකතු වෙලා ඉන්න කපිතාන් ඇතුළු පිරිසට මඳ සිනාවක් පෑවේ ඔන්න දැන් වැඩේ හරි කියනවා වගේ. දැන් නැව පණගන්වන්නකෝ" මහල්ලා අත්දෙක පිසදමමින් කිව්වා. සියල්ලෝම පුදුම කරමින් නැව ක්‍රියාත්මක වුණා. කපිතාන්ටත් ගොඩක් සතුටුයි. කපිතාන් ගාණ කියද කියලා ඇහුවාම ඉන්වොයිස් එක පස්සේ එවන්නම් කියලා මහල්ලා යන්න ගියා.

හරියටම ඊට සතියකට විතර පස්සේ නැව අයත් සමාගම් කාර්යාලයට මහලු කාර්මිකයාගේ ඉන්වොයිස් එක ලැබුණා. එහි සඳහන්ව තිබුණේ නැව් අලුත්වැඩියාවට ඩොලර් 1000ක් අය කරන බව. නැවේ කපිතාන්ට ඉන්වොයිස් එකේ සඳහන් මුදල දැක්කම ඌරුජුවල් නැග්ගා. මිටියෙන් තට්ටු කරන්න ඩොලර් 1000ක් ගන්න නාකියා. "මුට කීයක්වත් දෙන්න හොඳ නැහැ" කියලා කපිතාන් කෝපයෙන් හිතුවා. ඔහු මහල්ලාට පිළිතුරු ලිපියක් යවමින් පැවැසුවේ අලුත්වැඩියාවට අදාළ විස්තරාත්මක ඉන්වොයිස් (Detaild Invoice) එකක් අවශ්‍ය බව. එම ලිපියට සතියකට පසු මහල්ලා විස්තරාත්මක ඉන්වොයිසියක් කපිතාන්ට එව්වා. එහි මෙහෙම දෙයක් සටහන්ව තිබුණා. මිටියෙන් ඇණේට තට්ටු කිරීමට ඩොලර් 2 යි. මිටියෙන් තට්ටු කරන්න ඕන ඇණේ තියෙන තැන හොයාගත්තට ඩොලර් 998යි. සම්පූර්ණ අය කිරීම ඩොලර් 1000 කියලා තිබුණ විස්තරාත්මක සටහන දැක්ක නැවේ කපිතාන්ට දැනුමේ වටිනාකම හරියටම තේරුණා. එම නිසා ඔහු ඩොලර් 1000ක මුදල මහල්ලාට ලබාදෙන්න තීරණය කළා.

ඇත්තටම වැදගත් වෙන්නේ ඇණේට මිටියෙන් තට්ටු කිරීමද? එන්ජිමේ තියෙන ඇණ දහස් ගණනක් අතරින් මිටියෙන් තට්ටු කරන්න ඕත ඇණය හරියටම හොයාගන්න එකක්ද? ඔයා දන්නවා ඒකට උත්තරේ. අන්න ඒක නිසා තමයි දැනුම මිල කළ නොහැකි වටිනා වත්කමක් වෙන්නේ. ඔබේ දැනුම කිසිම විටක කිසිම තැනකදී අවතක්සේරු කරන්න එපා. ජීවිතයේදී දැනුම නොමිලේ තොග වශයෙන් බෙදා හැරිය යුතු තැන් මෙන්ම දැනුම ඉහළම මිලකට අලෙවි කළ හැකි අවස්ථාත් ගොඩයි.

රෙදි හෝදන අම්මා

කැලුම් වැලිගම - kelumweligama@gmail.com

පසුගිය දවසක අන්තර්ජාලය තුළ සැරිසරද්දී ලොකු දෙයක් කියන සරල කතාවක් මට හමුවුණා. ඒ කතාව කියවද්දි ඒත් සමගම ඔබටත් යමක් කියන්න ඕන කියලා මට හිතුණා. ඇත්තටම ඒක විදෙස් කතාවක්. ඒක නිසා එහි බුද්ධිමය දේපොළ හිමිකම ඔන්න මට නම් නැහැ. නමුත් මම ඒ කතාව පරිවර්තනය කළේ ගොඩක් දේ වෙනස් කරලා. මට එහෙම අයිතියක් නැති වුණත් කාට කාටත් වටින නිසා මම එහෙම කළා.

දවසක් තරුණයෙක් රැකියාවක් සඳහා වන සම්මුඛ පරීක්ෂණයකට ගියා. තරුණයා ඉල්ලුම් කළේ විධායක ශ්‍රේණියේ රැකියාවක් නිසා ආයතනික ප්‍රධානියත් සම්මුඛ පරීක්‍ෂණය කරන කාමරේ තමයි හිටියේ. රැකියාවට ප්‍රමාණවත් දක්ෂතාවන්ගෙන් සහ හැකියාවන්ගෙන් මෙන්ම අධ්‍යාපන සුදුසුකම් වලින් ද තරුණයා පරිපූර්ණ වෙලා තමයි හිටියේ. ආයතනික ප්‍රධානියාට මොහු ගොඩක් හිතට ඇල්ලුව. ඒක නිසා වතගොත ටිකක් කතා කරන්න හිතුවා.

"ඔයාට මේ තරම් දුර ඉගෙන ගන්න උදව් කළේ තාත්තද ?'' " නැහැ. මට පොඩි කාලෙදිම තාත්ත නැති වුණා. අම්ම තමයි මට ඉගැන්නුවේ "

"අම්මා රැකියාවක් කරනවද?"

"ඔව් අම්මා රෙදි සෝදනවා" තරුණයා මවගේ රැකියාව සඟවන්නේ නැතුව කෙළින්ම කිව්වා.

"ඔයා අම්මට උදව් කරනවාද?"

"රෙදි හෝදන්න අම්මා මට ඉඩ දුන්නේ නැහැ. එයා මට හැමවෙලේම කිව්වේ හොඳට ඉගෙන ගන්න කියලා.. ඉතින් මම ඉගෙන ගත්තා"

නිකටට අත තියාන ටිකක් වෙලා කල්පනා කරපු ප්‍රධානියා මෙහෙම කිව්වා.

"මම ඔයා ගන්නවද නැද්ද කියල හෙට කියන්නම්. ඔයා හෙට 9.00 ට ඊළඟ සම්මුඛ පරීක්ෂණයට එන්න. ඒ එද්දි ඔයා දේවල් දෙකක් කරලා එන්න ඕන. පළමුවැනි දේ තමයි ඔයාට උගන්වන්න උදව් කරපු අම්මගේ අත් දෙක අතගාලා ඒවා පිරිසුදු කරලා එන්න ඕන. දෙවැනි දේ තමයි වත්මන් කොටස් වෙළෙඳ පොළේ තත්ත්වය ගැන අවබෝධයෙන් එන්න ඕන"

තරුණයා ගෙදර ආව ගමන්ම රෙදි සෝදන්න සැරසෙන අම්මා ගාවට ගියේ ඇගේ අත් පිරිසුදු කරන්න. ඔහු මවගේ අත් දෙක ඇල්ලුවේ ගොඩක් කාලෙකින් නේද කියලා ඔහුට හිතුණා. අම්මගේ අතේ සමීප දර්ශනය ගොඩක් දුක්බර බව ඔහුට පෙනුණා. ඒ අත්වල ලස්සන මැකිලා ගිහින් සබන්, රසායනිකයන්ට අත්ලේ සම ඉරිලා ගිහින්. දැන් අම්මගේ අත් පිරිමියෙක්ගේ අත් වගේ තඩිස්සි වෙලා නේද කියලා ඔහුට හිතුණා. ඔහු අම්මගේ අත් දෙක බදාගෙන ඇඬුවේ දුක දරාගන්න බැරි නිසා. ඔහු කවදාවත් නැතුව අම්මාගේ අත් දෙක දැඩි සෙනේහයෙන් පිරිමැද්දා. ඉන් පසුව ජීවිතයේ ප්‍රථම වතාවට ඔහු රෙදි පොට්ටනියක්ම සේදුවා. ඔහුට ඒ වේලාවේ දැනුණා අම්මා අවුරුදු 25 ක් තිස්සේ රෙදි දිය ගහමින් විඳපු දුක. කොටස් වෙළෙඳපොළ තත්ත්වය හොයන්න ඔන කියලා ඔහුට හිතුණත් ඔහු ඒ ගැන හිතන්නේ නැතුව දිගටම රෙදි සේදුවේ අම්මාට දවසක් හරි නිදහසක් දෙන්න ඕන නිසා. එදා රෑ වෙනකම්ම වැඩ කරපු නිසා ඔහුට හොඳ නින්දක් ලැබුණා.

තරුණයා දෙවැනි සම්මුඛ පරීක්ෂණයට යන්න පිටත් වුණා. යන්න පිටත් වෙන මොහොතෙත් ඔහු අම්මාගේ යකඩ දෑත් දැඩි ස්නේහයෙන් පිරිමැද්දා ආයතනික ප්‍රධානියා සිනාවක් පාමින් තරුණයා දෙවැනි පරීක්ෂණයට පිළිගත්තා.

"ඉතින් ඔබ ඊයේ මම කියපු වැඩ දෙකම කළාද?"

එකක් කළා සර්. අනික මට මගහරින්න සිද්ධ වුණා''

''ඇයි ?''

''කොටස් වෙළෙඳ පොළේ වත්මන් තත්ත්වය තේරුම් ගන්නවට වඩා මගේ අම්මගේ වත්මන් තත්ත්වය තේරුම් ගන්න මට ඕන වුණා සර්''. තරුණයාගේ පිළිතුරට ප්‍රධානියා ගොඩක් කැමැති වුණා. ඔහු බලාපොරොත්තු වුණෙත් ඒ පිළිතුරම තමයි. නමුත් තරුණයා සිතුවේ කළ අතපසු වීම නිසා රැකියාවට ඔහු නැවත කැඳවන්නේ නැති වෙයි කියලා.

"අන්න එහෙම තමයි කළමනාකරුවෙක් ඉන්න ඔනි. හෙට ඉඳන් ඔබ මෙහෙ තමයි වැඩ'' ප්‍රධානියා මඳ සිනහවක් පාමින් ඒකමතිකව කිව්වා.

''ඒත් සර්... මම කළ මනාකරුවෙක්ගේ දෙයක් නෙමෙයි නේ කළේ. අනික මම ඔබ කිව්ව වැදගත්ම වැඩේ මගහැරියා'' පුදුමයට පත් තරුණයා ඇහුවා.

"අවස්ථානුකූල ව වැදගත්ම දේ තමයි ඔබ කළේ. දක්‍ෂ කළමනාකරුවෙක්ට පුළුවන් වෙන්න ඕන යටත් සේවකයන්ට සංවේදී වෙන්න. අවුරුදු ගාණක් සමාගමට වැඩ කරපු මිනිසුන්ගේ ජීවිතේ දැන් මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් කළමනාකරුවෙක්ට තිබිය යුතුයි. එහෙම තේරුම් ගත්තොත් තමයි දිගුකාලීන අරමුණුවලට ළඟා වෙන්න පුළුවන් වෙන්නෙ. අවුරුදු ගාණකට පස්සෙ හරි ඔබට වැටහුණා අම්මා ඔබ ඔය තත්ත්වයට ගේන්න දරපු දුක. දැන් ඔබ දන්නවා ඔබ ඔය තත්ත්වයට ආවේ අම්මා නිසා නේද කියලා. අම්මා මහන්සි වෙලා රෙදි සේදුවේ නැත්නම් ඔයා කවදාවත් ඉගෙන ගන්නේ නැතිවෙයි. ආයතනයකත් තත්ත්වය ඔහොම තමයි. ඉහ නිකට පැහුණු පරිණත ප්‍රධානියා තවත් බොහෝ දේ අනාගත කළමනාකරුවාට පැහැදිලි කළා. ඇත්තටම දක්‍ෂ කළමනාකරුවා මිනිසුන්ගෙන් වැඩ ගැනීමෙන් නොනැවතී ඔවුන්ගේ ජීවිතය උසස් කරන්නත් පියවර ගන්න අයකු වෙනවා. ආයතනයේ මූල්‍ය සම්පත් සහ මූර්ත සම්පත් වගේම මානව සම්පත ගැන හිතන්නත් අවශ්‍යයි. මානව සම්පත් වටිනාකම තේරුම් ගන්න සේවකයන් කරන වැඩ ගැන ගැඹුරු නිරීක්ෂණයක් කළමනාකරුවාට තිබිය යුතුයි. ඒක තේරුම් ගන්න සමහර වෙලාවට වාර්තා පැත්තකට තියලා සමීප නිරීක්ෂණය යොදා ගන්නවා නම් ඉතා වටිනවා''.