ගෝතමරත්න ඉන්දුසිරි සුරවීර
"උණ
පඳුරේ හෙවණැල්ල තරප්පුව අතුගාගෙන යයි, නමුත් නොසැලේ දූවිලි තට්ටුව"
ජීවිතයේ
නැවත නැවතත් දකිනා සිහිනයන් ලුහුබැඳ යමින් ඉරණමද, අත්දැකීම ද, විඳිමින් ඔබද, මම ද ගමනක යෙදී සිටින්නෙමු.
ජීවිතයට ජීවිතය හමුවන සෑම විටකම සිතිවිලි පුළුල් කිරීමට සමත් නිර්මාණශීලී නවාතැන්
පළක් ආ මග තිබූ බව මතකය. මම ඒ අසිරිමත් අතීතය සිහිපත් කළෙමි. ඉන් ලද ජීවිතයද
අස්වැසිල්ලද, සිහිනය සහ ප්‍රාර්ථනාවද, බලාපොරොත්තුව ද, සුරක්ෂිතව හදවතෙහි තැන්පත්
කළෙමි. ඔබ හදට සවන් දී බොහෝ කල්ය. එහි වර්ණය, ස්වරූපය මෙන්ම
රිද්මයද හැඳින්නෙමි. අතීතයේ හමුවූ, දහසක් නිමිති නිසි ලෙස
වටහා ගන්නටද, ප්‍රේමයේ සුන්දරත්වය විඳිමින් මිනිස් සිත්වල
අභ්‍යන්තරයට කිඳා බසින්නටද, ඉන් හැකි විණි. තවමත් එහි
රිද්මය පෙර පරිදිමය. එබැවින් මම ඔබ සොයමි.
"කාලයත්
එක්ක දැන් හුඟක් දේවල් තේරුම් අරන් ඉන්නේ''
කාලය බොහෝ
විට කරන්නේ ප්‍රශ්නාර්ථයක් එලෙසම තබාගෙන ඒ සඳහා බලපාන සාධකයන්ගේ වෙනස්කම් කිරීමය.
ඉන් සිදුවීම ඉස්මතු වීමක් හෝ යටපත් වීමක් සිදුවේ. කාලය, ගැටලු
සහ ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් සොයා දෙනවා සේම අර්බුදයක් වුවද නිර්මාණය කළ හැකිය. ඔබ
කාලය පිළිබඳ විශ්වාසය තබන්නේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට නම් ඒ සඳහා ඔබ සූදානම්
කරගත යුත්තේ පිළිතුරුය. පිළිතුරු තීරණාත්මක මෙන්ම සෘජුය, ඉක්මන්ය.
එහෙත් ඔබ කාලය පිළිබඳ විශ්වාසය තබන්නේ ගැටලුවක් නිරාකරණය කර ගැනීමට නම් ඔබ ගෙවන
කාලය තුළ සෙවිය යුත්තේ විසඳුම්ය. විසඳුම් දිර්ඝකාලීනය. ඒ සඳහා විසල් කැප කිරීම් සහ
අවබෝධය අත්‍යවශ්‍යය, සියල්ලටම වඩා විය යුත්තේ ඔබ මුහුණ
දෙන්නේ ගැටලුවක්ද, ප්‍රශ්නයද යන්න හරිහැටි අවබෝධ
කරගැනීමය. නොඑසේ නම් කාලය ඔබව රවටනු ඇත.
බණ්ඩාර කේ.
විජේතුංගයන් ඇරැඹුමේ පද පෙළ නම් කර තිබුණේ "ගතවන කාලය සහ නොමියෙන් දුක"
යනුවෙනි. නෙත් දහස කාව්‍ය සංග්‍රහයේ සිංහල හයිකු සම්ප්‍රදායේ ලක්ෂණයන් එහි විද්‍යමාන
වේ. ප්‍රේමයට අතිශය ආදරය කළ බණ්ඩාර කාලය සෙවණැල්ල සේ කාල තරණය කරන බව දනවයි.
තරප්පු පෙළ ජිවිත යයි. එහි ඇත්තේ නැඟීමක් සහ බැස්මකි. අපේ හදවත් මතින් කී දෙනකුට
නගින්නට සහ බසින්නට ඉඩ සලසා ඇතිද?
"ඒ තරම් බරක් තියාගන්න එපා" ලෝකය පරිවර්තනය කිරීමට කලින් තමා
පරිවර්තනය වී සිටිය යුතුය. ඒ සඳහා අවශ්‍යම වන්නේ ඉවසීම සහ උනන්දුවය. ඔබ සාර්ථක නම්
ඉවසීමෙන් උනන්දුව ඇතිකර ගත හැකිය. ඇතැම් විට ඔබ කාලය එළැඹෙන්නට කලින් ක්‍රියාත්මක
වෙයි. නැතහොත් කාලය එළැඹී ඇති විට ලිස්සා යයි. එය මඟ හැරීමට නම් ඔබ සෑම මොහොතක්ම
ආපසු නොලැබෙන මොහොතක් සේ සැලකිය යුතුමය. නොඑසේ නම් එසේ සිතන තුරු උසුලාගෙන සිටිය
යුතුය.
" සබඳතා කියන්නේ භෞතික දේවල් නෙවෙයි."
මට
ගේබ්රියල් ගාර්ෂියා සිහිපත් විණි. ඔහුගේ ජීවිතයෙන් සමුගැනීමට ප්‍රථම අන්තර්ජාලයට
මුදාහැර ඇති අවසන් ලිපියේ උපුටා ගැනීමක් දක්වමි. ඔහු එහි දනවන්නේ සෑම දෙයක් පිළිබඳ
දැනට වඩා කල්පනාකාරි විය යුතු බවය. තව දුරටත් ඔහු වටිනාකම් සොයා යයි. "සෑම
දෙයකම ඇති භෞතික වටිනාකම්වලට වඩා ඒවායේ නෛසර්ගික ගුණාංග හා ඒවා තුළින් ප්‍රකාශ
කරන්නා වූ සත්‍යයන් වටහා ගැනීමට මම වැඩි උනන්දුවක් දක්වමි."
ඔබද උනන්දු
විය යුතුය. ඕනෑම භාණ්ඩයක්, වස්තුවක්, භෞතික
සාධකයක් වුවද එම භාණ්ඩය සංකේතවත් කරන්නේ කුමන කාරණයක් දැයි ඔබ සිතිය යුතුය. එය මහා
ගැඹුරු චින්තනයක උද්දීප්තිය විය හැකිය. එය හදවතක හැඟීමේ මතුපිට ප්‍රකාශනය විය
හැකිය. එබැවින් භෞතිකයේ වටිනාකම මිල කළ නොහැකිය. හදවතක උපදින ආදරය හදවතෙහි ධනය වග
කලීල් ජිබ්රාන් සඳහන් කරයි. එය සංගීත භාණ්ඩයක් වැනිය. එය වාදනය කළ නොහැකි
තැනැත්තාට එය සපයා දෙන්නේ අප ස්වරයක් පමණි.
"ධනය
ප්‍රේමය බඳුය. අන් අයට නොදී තමා ළඟ ප්‍රේමය රඳවා තබා ගන්නා තැනැත්තා ප්‍රේමය
විසින්ම විනාශයට පත් කරවනු ලබයි. එහෙත් ඒ ධනය නිදහසේ ප්‍රදානය කරන්නා වෙත ජීවිතය
ලබාදෙයි." එබැවින් මම ඔබ තුළ ජීවිතය සොයමි.
“මගේ
අරමුණ වෙනස් නොවන්නක් "
ජීවිතය හැමවිටම උරුමව සොයාගෙන යන්නන්ට ත්‍යාගශීලීය. එහෙත් සිදුවීමක් යළි යළිත් වේ නම් එය තනි තනිටුවෙන් පියාඹීමකි. ඔබ හදවත ප්‍රේමය ඒකපාර්ශ්වීය වුවහොත් ජීවිතය සහ එයට මුහුණ දීමේ දිරිය සහ බලය බිඳ වැටෙනු ඇත. ඔබ දිගු කලක් නිරීක්ෂණය කරන්නේ එබැවිනි. ඔබ හද තුළ උල්පතක් සේ රූරා ගලා හැලෙන ආදරය දුර සිට හැඳින්නෙමි. දිනෙක එය මුවදොර සොයා ගලනු ඇත. නොඑසේ නම් ඊට පෙර කොතැනකදී හෝ භූගත වනු ඇත. එසේ වුවහොත් ඉන් ගස්වැල් මල් පල දරන බිමක් සශ්‍රීක කරනු ඇත. එබැවින් ඔබ බලා සිටීම උපුල් ශාන්ත සන්නස්ගල ලියූ දීපිකා ප්‍රියදර්ශනී ගයන මතක සැමරුමක පාමුල තබමි. ඔහු එනතුරු මග බලා සිටින ඔබට එය සිහිනයක රැඳුණු ප්‍රබෝධයක් වනු ඇත.
මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කඳුළැලි දරා
මං මග බලා සිටියා
නෙතු ගනඳුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා
සිල් බිඳලන්න නොහැකි නිසා
මං මග බලා සිටියා